ග්‍රහ මණ්ඩලයේ රජු වශයෙන් සැලකෙන්නා වූද අනෙකුත් සියලුම ග්‍රහයන්ට ස්වකීය ආලෝකය දෙමින් තම ආකර්ශනය හා අධිපති බව පතුරුවන්නා වූද සූර්යා හෙවත් රවි ග්‍රහයා ජුලි මස 16 වැනි අඟහරුවාදා කටක රාශියට මාරුවීමට නියමිතය. එවිට මෙතෙක් පැවති මිථුන කෝණ මාසය නිම වේ. මංගල කටයුතුවලට අශුභ ඵලදායක වූ කෝණ මාසය නිමවීමෙන් සුබ නැකත් සෑදීමට තිබූ බාධාවක් ඉවත් වේ.
ජුලි 16 වැනිදා පස්වරු 3.45 ට කටක රාශියේ පුනාවස නැකතේ හතර වන පාදයට හිරු මාරුව සිදුවන අතර එය කුම්භ ලග්නය හිමි ශ්‍රී ලංකාව අයිති කේන්ද්‍රයේ හයවැන්න ද වන්නේය. රවි හයවැන්නේ ගමන් කරන කාලය සුබඵල උදාකරන බව ජ්‍යෙතිෂයේ නියමයකි.
කේන්ද්‍රයේ හයවැන්න සතුරන් හා රෝග පිළිබඳ කියෑවෙන භාවයයි. එබැවින් මේ ජුලි 17 අගෝස්තු 17 දින අතර මාසය තුළ රහස් සතුරු කුමන්ත්‍රණ, ජනතා විරෝධී වැඩ කරන අය නීතියේ රැහැනට හසුවනු ඇත. එපමණක් නොව අප රටට විරුද්ධව විවිධ ලෙස ක්‍රියාකරන විදේශීය බලවේග පරාජය කිරීමට ද ශක්තියක් ලැබෙනවා ඇත. විදේශ සබඳතා ශක්තිමත් කර ගැනීමට කරුණු සැලසේ. තානාපති සේවාවන් වල පවතින දුර්වලතා නිවැරැදි කරගත හැකි වේ. මේ අතර මෙම කාලය ඇතුළත සෞඛ්‍ය අංශයේ ද කැපී පෙනෙන වර්ධනයක් ඇතිවේ. රෝග නිවාරණය සඳහා කෙරෙන ව්‍යාපෘති සාර්ථක කරගත හැකි වේ.
ඩෙංගු ඇතුළු බරපතළ රෝග නිවාරණයට විශේෂ වැඩපිළිවෙළක් සකස් කෙරෙනු ඇත. මෙවැනි සංවර්ධන කටයුතු වෙනුවෙන් විවිධ උත්සව පැවැත්වෙනු ඇත. මේ අතර ගොවියන්, කම්කරුවන් මෙන්ම ඉංජිනේරුවන් වැනි වැඩ කරන ජනතාවට ද සුබ කාලයක් වන්නේය. ත්‍රස්ත මර්දනය යටතේ නැගෙන අයුතු චෝදනාවලට විකල්ප ක්‍රියාමාර්ග ගැනීමෙන් ඒවා නිෂ්ප්‍රභ කිරීමටද හැකි කාලයක් බව කිව යුතුවේ.
රවි මාරුව ලග්න හතරකට විශේෂ සුබඵල උදාකරයි. ඒ වෘෂභ, කන්‍යා, තුලා, කුම්භ යන ලග්න හතරයි. මෙහිදී වෘෂභ ලග්න හිමියන්ගේ තුන්වැන්නට රවි මාරුව සිදුවේ.
වෘෂභ - ලග්න හිමි අයට මේ අනුව උත්සාහය, ධෛර්ය පෙරට වඩා වැඩිවනු ඇත. උසස් අයගේ ආධාර උපකාර ද ලැබෙනවා ඇත. නීතියේ පිහිට ලැබේ. නඩුවලින් ජය අත්වේ. තම අසල්වාසී පිරිස් අතර නායකත්වයට, ප්රධානත්වයට පත් වේ. පිළිගැනීම වැඩිවේ. සතුරන්ගෙන් ජය ලැබේ. වාසනාව උදාවේ. දරුවන්ගේ දියුණුව ඇතිවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ධන ලාබ ලැබේ. පැවති රෝගයකින් සුවය ලැබේ. කල් පැවති රෝගාබාධ සුවකර ගැනීමට සුදුසු වෛද්‍යවරුන් හමුවේ. එමෙන්ම සහෝදරයන්ට සුබයි.
කන්‍යා - ලග්න හිමි අයට රවි මාරුව සිදුවන්නේ එකොළොස්වැන්නටය. මේ අනුව ඒ අයගේ රැකියා දියුණුව ඇති වන කාලයකි. උසස් මිතුරන් හඳුනා ගැනීමට ලැබේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. තනතුරේ හෝ තත්ත්වයේ දියුණුවක් අපේක්ෂා කළ හැකි වේ. ධන ලාභ ලැබේ. හිත මිතුරන් සමග සතුටින් කාලය ගත වේ. මේ අතර මෙම කටයුතුවලට වියදම් ද ඉහළ යනු ඇත. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ප්‍රීති උත්සවවලට ප්‍රිය සම්භාෂණවලට සහභාගිවීමට අවස්ථාව උදාවේ.
තුලා - ලග්න හිමියන්ගේ රවි මාරුව සිදුවන්නේ දහවැන්නටය. ඒ අයගේ කර්මස්ථානයට රවි මාරුවීම විශේෂ සුබඵල ඇතිකරවයි. පියාගේ ධනයක් ලැබීමට හේතුයි. පියාට සුබයි. රැකියා දියුණුව ඇති වේ. කරගෙන ආ කටයුත්තක් වෙනස්වීමට හෝ වෙනස් කිරීමට සිදුවේ. එයද සිදුවන්නේ හොඳටය. ශරීර සෞඛ්‍යයේ වර්ධනයක් ඇති වේ. ධනලාභ ලැබේ. උසස් අයගේ ආධාර උපකාර ද ලැබේ. ගෞරවය, නායකත්වය හිමි වේ. බොහෝ අදහස් ඉටුකර ගැනීමට අවස්ථා උදාවේ.
කුම්භ - ලග්න හිමියන්ගේ රවි මාරුව සිදුවන්නේ හයවැන්නටය. දුෂ්ඨ ස්ථානයක් වූ හයවැන්නට රවිගේ පැමිණීම නිසා සතුරු කරදර යටපත් කරවයි. සතුරන්ගෙන් ජය ලැබේ. යටිකූට්ටු වැඩ කරමින් දියුණුවට බාධා කළ රහස් සතුරන් පරාජය වේ. පිට පළාත්වල සිටින හිත මිතුරන්ගෙන් ආධාර උපකාර ලැබේ. එමෙන්ම රෝගවලින් සුවය ලැබේ. උත්සාහය, ධෛර්ය වැඩිවේ. දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ප්‍රීතියෙන්, සතුටින්, කාලය ගතවේ. විදේශ ගමන් සාර්ථක වනු ඇත.
මේ ලග්න හතර හැර අනෙකුත් ලග්නවලට තරමක අශුභ ඵල සහිත මිශ්‍රඵලදායක තත්ත්වයක් ඇති වන නිසා එම තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමද මෙහි අග දක්වා ඇති ශාන්තිකර්ම පිළිවෙත් අනුගමනය කිරීමද මගින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවේ. මේ අනුව
මේෂ - ලග්න හිමියන්ට ගමන් බිමන්වලදී කරදර ඇතිවිය හැකියි. ගෙදර දියුණුවට බාධා පවතී. ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. වියදම් අධික වේ. සිත්තැවුල්වලට හේතුයි.
මිථුන - ලග්න හිමියන්ට වියදම් අධික වේ. ලැබිය යුතු ලාභ නොලැබීම, වංචාකරුවන්ට හසුවීම, විවාහ සහකරුට අඵල හිසේ හෝ මුහුණ ආශ්රිත රෝග ඇතිවීමට හේතුයි.
කටක - ලග්න හිමියන්ට දැඩි අවිවේකී කාලයක් වේ. හිසේ ඌෂ්ණාධික රෝගවලට හේතුයි. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් ඇති විය හැකියි. පියාටද අපලයි. මුදල් අඟහිඟකම් ද ඇතිවිය හැකියි.
සිංහ - ලග්න හිමියන්ට රවි 12 වැන්නට ඇතුළත් වන මෙම කාලය තුළ උසස් අය අමනාප වීම, ධන හානි, විදේශ ගමන්වලට බාධා මෙන්ම තත්ත්වයේ පහළ වැටීමකට හේතු තිබේ.
වෘශ්චික - ලග්නය හිමි අයට ආගමික හා දේව පිහිට ගැන විශේෂ අවධානය යොමුවනු ඇති අතර නිෂ්ඵල වියදම් යෙදේ. නෑදෑයන් වෙනුවෙන් අමතර වෙහෙසක් දැරීමට ද සිදුවනු ඇත. පවුලේ වැඩිහිටියන්ට අඵලදායක කාලයකි.
ධනු - ලග්න හිමියන් ශරීර සෞඛ්‍ය පිළිබ ඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වේ. උසස් අයගේ රැකියා ප්‍රධානීන්ගේ අප්‍රසාදයට හේතුවන වැරදි සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. පවුලේ අයටද අඵල පෙන්වයි.
මකර - බිරිඳ හෝ සැමියාට අඵලදායකයි. චිත්ත පීඩා ඇති කරවයි. විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට සුබ නොවේ. ප්‍රසිද්ධ සතුරන් ඇතිවිය හැකිය. අනපේක්ෂිත ගමන් බිමන්වලින් ද කරදර ඇති කරයි.
මීන - ආයෝජනවලින් පාඩු සිදුවිය හැකියි. දරුවන්ගේ දියුණුවට බාධා ඇතිවිය හැකියි. සතුරු කරදරවලට ද හේතුයි. වංචාවලට හසුවීමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතුවලටද බාධා ඇතිවිය හැකියි.
ඉහත දක්වා ඇත්තේ රවි මාරුව ලග්න 12 ට බලපාන ආකාරයයි. මෙසේ රවි ගෝචරව දුර්වලව ගමන් කිරීමෙන් අඵල ඇතිවන අය ඒ සඳහා රවිට අදාළ ග්‍රහ ශාන්තිකර්ම කරවාගැනීම යහපත්ය.
රවි අඵලයක් ඇති විට අව්වේ වැඩ කිරීම හා ඌෂ්ණාධික ආහාරපාන ගැනීම සුබ නැත. එමෙන්ම තම රැකියා ප්‍රධානීන් හා කටයුතු කරන විට ප්‍රවේශම් විය යුතුය. නීති විරෝධී කටයුතුවල කිසිලෙසකින්වත් යෙදිය යුතු නැත. නීති ප්‍රශ්නවලට මැදිහත් විය හැකි බැවිනි.
බුද්ධ පූජා, බෝධි පූජා තබා කතරගම දෙවියන්ගේ පිහිට පැතීම මගින් අඵල දුරුකර ගත හැකිය. එවිට රතු මල් වන රතු නෙළුම්, රතු අරලිය වැනි මල් ද රතු කොඩි හා තැඹිලි තෙල් පහන් ද පූජා කිරීම සුදුසුය. අංක 1 එකතුවට එන 1, 10, 100 වැනි සංඛ්‍යාවලින් පූජා තැබීම මැනවි. පූජාව අවසානයේ "සූරිය පිරිත" කියා මෛත්‍රි භාවනාව කර දෙවියන්ට පින්දී සෙත් පතාගන්න. සූර්යා නියෝජනය කරන, බුදුරජාණන් වහන්සේට පූජා තැබීම මෙන්ම තමන්ගේ පියාට, උපස්ථාන කිරීම, මියගිය පියා සිහිකර පිංපෙත් දීම යහපත් වේ.