• රුවංගි හැඩකාරියක්ද, දඟකාරියක්ද, විසේකාරියක්ද?
හැඩකාරියක්.
• ඒ කියන්නේ ඔබ විසේකාරියක් නෙවෙයිද?
නෑ....
• ගමේ පිපුණු මල කොළඹ මල් පෝච්චියකට වැටුණෙ කොහොමද?
අහම්බෙන්... රංගන කටයුතු නිසයි කොළඹට ආවෙ.... ඒ ආපු ගමන කොළඹම නැවතුණා.
• දැන් ගම අමතකද?
අනේ නෑ....
• එතකොට මුල?
ඒත් නෑ...
• නිළියක් වුණේ කාගේ වුවමනාවටද?
කවුරුත් කිව්වේ නෑ... මගේ කැමැත්තෙන් නිළියක් වුණා. ගෙදර අය ඒකට සහයෝගය දුන්නා.
• රංගන ක්ෂේත්රයේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවාද?
මට හිතෙනවා සමහර වෙලාවට සුදුස්සාටම සුදුසු තැන ලැබෙන්නේ නෑ කියල.
• ඔබට ලැබුණු සම්මානයත් ඒ වගේද?
නෑ... මට ඒක ලැබුණේ සුදුසුම වෙලාවේ සුදුසුම විදියට කියලයි මම නම් හිතන්නේ.
• ඒත් සමහරු කියනවා සම්මානෙට ඔබ සුදුසු නෑ කියලා.... එතකොට එහෙම කියන්නේ කුහක කමටද?
වෙන්න ඇති.... ඒ වගේම බලාගෙන ඉන්න බැරි නිසා වෙන්නත් පුළුවන්.
• රුවංගි දැන් රූපවාහිනී නාළිකා බදු අරගෙනද?
නොහිතන වෙලාවක මම කරන නිර්මාණ කීපයක් එකවර නාළිකා 5ක විකාශය වුණා. ඒක මට ලැබුණු අහඹු වාසනාවක්.
• ඉක්මනින් ජනප්‍රිය වුණේ කොහොමද?
ඉක්මනක් නෑ. අවු 2 1/2 ක් විතර ගියා.
• චරිතයක් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවාද?
ඔව්... හැබැයි සීමාවන් ටිකකුත් තියෙනවා.
• කලාත්මක නිර්මාණයක් වෙනුවෙන් අඩනිරුවත් හෝ නිරුවත් වෙන්න වුණොත්?
ප්‍රතික්ෂේප කරනවා.
• වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත්....?
නිර්මාණය සහ චරිතය හොඳ නම් මට හානියක් නොවෙනවා නම් භාර ගන්නවා.
• මුලින්ම හිතේ ආදරයක් ඇතිවෙනකොට වයස කීයද?
අවු: 18ක් විතර.
• පෙම්වතුන් කී දෙනෙක් සිටියද?
දෙන්නයි.
• අත්තෙන් අත්තට පනින කිරිල්ලී තෙමී නසී කියන කියමන පිළිගන්නවාද?
ටිකක් විතර. මොකද අත්තෙන් අත්තට පැනලා නහින කිරිල්ලියොත් ඉන්නවා... හරියන කිරිල්ලියොත් ඉන්නවා.
• නිළියකට දේශපාලන සම්බන්ධතා කොයිතරම් වටිනවද?
නිළියකට දේශපාලන සම්බන්ධතාවලින් වැඩක් නෑ.
• දේශපාලන පවුලකට සම්බන්ධ සල්ලිකාරයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියන්නේ ඇත්තද?
ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නෑ...
• පාවිච්චි කරන ජංගම දුරකතනයේ වර්ගය මොකක්ද?
Apple
• ඒක පෙම්වතාගෙන් ලැබුණ තෑග්ගක් කියන්නේ ඇත්තද?
ඒක මම ගත්ත ෆෝන් එකක්.
• ඒ කියන්නේ පැතිරුණේ ගින්නක් නැති දුමක්ද?
ඔව්. Apple Phone වත්, දියමන්ති මුදුවත්, කිරුළපනේ ගෙවල්වත්, අලුත් වාහනයක්වත් මට නෑ. කෙටියෙන්ම කිව්වොත් මම ඉන්නේ පැපිලියානේ. අඩු තරමේ මටම කියලා වාහනයක්වත් නෑ...
• නළුවො කී දෙනෙක්ට හිත ගියාද?
එක්කෙනයි.
• නළුවො කී දෙනෙක්ගේ හිත් ඔයා ළඟ නතර වුණාද?
දැනුවත්ව නම් එක්කෙනාගෙයි.
• නළු පෙම්වතා සැමියා කරගන්න නොහිතුවේ ඇයි?
නළුවෙක් සැමියෙක් කරගන්න හිතුවෙ නෑ.... පුංචි සම්බන්ධයක් ඇති වුණා. ඒක දුරදිග නොගිහින් නැවතුණා. එච්චරයි.
• වඩා වැඩි ආදර යෝජනාද අනවශ්‍ය යෝජනාද?
ගොනා හැරෙන්නේ පොල් පැළේ කන්න කියලා දැනෙනකොට 64 මායමම පාවිච්චි කරලා ෂේප් වෙනවා. ඒ නිසා කිසිම යෝජනාවක් කරන්නේ නෑ.
• ආදරේ කරන්න කැමැති මොන වගේ කෙනෙක්ටද?
මට ආදරේ කරන කෙනෙක්ට.
• පෙම්වතා විවාහයට පෙර Living to Gether ඉන්න ආරාධනා කළොත්...?
සම්බන්ධයත් එතැනින්ම නතර කරනවා.
• ඔබ දැන් පෙම්වතියක්ද?
නෑ...
• අතේ සතේ නැතුව කොළඹට එන සමහර නිළියෝ වැඩිය රඟපාන්නෙත් නැතුව සල්ලිකාරියෝ වෙන්නෙ කොහොමද?
හැකියාව තමයි ඉතින්.
• ඔබ වෘත්තීය නිළියක්ද?
අනේ ඔව්.
• ලැබෙන මුදල ජීවත්වෙන්න ප්‍රමාණවත්ද?
බොරු සෝබන නැති නිසා ප්‍රමාණවත්.
• ඔබ බෞද්ධද?
ඔව්.
• දෙවියන් විශ්වාස කරනවාද?
ඔව්.
• කෝවිල් යන්නේ ඒ නිසාද?
ඔව්.
• ළඟදි දෙවියන්ගෙන් ඉල්ලුවේ මොනවද?
හැමදාම මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ සතුටයි, සැනසීමයි.
හිමේෂා සවන්තී රාජපක්ෂ