ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් ජය දෙයි - Sri Lanka 2-0 up after rainy day

සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 17ක ජයක් අත්විය. වර්ෂාවෙන් දිගින් දිගටම බාධාවූ මේ තරගයේ පැය තුනකට ආසන්න කාලයක් අපතේ ගිය හෙයින් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ජයග්‍රහණය තීරණය විය.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති දිවා-රාත්‍රී තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර් 49.2කදී කඩුලු 9ක් දැවී ලකුණු 223ක් ලබා ගත් අතර වර්ෂාවෙන් අපතේ ගිය කාලය සසදා දකුණු අප්‍රිකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඕවර් 29කදී ලකුණු 176ක ඉලක්කයක් එල්ල විය.

දකුණු අප්‍රිකාව ඕවර් 21කදී කඩුලු 5කට ලකුණු 104ක් ලබා සිටියදී වර්ෂාව නැවැත ඇද හැලුණ හෙයින් තරගය නවතා දැමුණි. ඩක්වර්ත් ලුවිස් ගණනය අනුව ඕවර් 21ක් වෙද්දී දකුණු අප්‍රිකාව ජයග්‍රහණය සදහා ලකුණු 122ක් ලබා සිටිය යුතුව තිබූ හෙයින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි බව විනිසුරුවෝ ප්‍රකාශ කළහ.මේ තරගයේදී කුමාර් සංගක්කාර දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේදී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට සමත්වූ අතර රංගන හේරත් තම 50වැනි එක්දින තරගයේදී කඩුලු 50ක් ලබා ගැනීම කැපී පෙනුණි.මෙතෙක් දෙරට අතර පැවැති එක්දින තරග ඉතිහාසයේදී ජැක් කලීස් ලකුණු 1429ක් ලබා සිටි අතර සංගක්කාර ඊයේ තරගයේදී ලබාගත් ලකුණු 37 සමග ලකුණු 1447ක් ලබා කලීස් අභිබවමින් වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාව පිහිටු විය.


දකුණු අප්‍රිකා ඉනිමේ පළමු කඩුල්ල බිඳ හෙලීමට වේග පන්දු යැවූ ලසිත් මාලිංග සමත්වූ අතර එය පළමු ඕවරයේදීම වීම ශ්‍රී ලංකාවට විශාල වාසියක් විය පළමු ඕවරයේ අවසන් පන්දුවේදී මාලිංගගේ යෝකර් පන්දුවක් රොබින් පීටර්සන් පරදා විකට්ටුවේ දැවටුණු අතර දෙවැනි කඩුල්ලට ජේ.පී.ඩුමනි ලකුණු 15කට දවා ගැනීමට තිසර පෙරේරා සමත් විය.

හේරත් 10වැනි ඕවරය යැවීමට කැඳවූ අතර ඔහුගේ පළමු අවස්ථාවේදීම ආරම්භක පිතිකරු ඇල්වීරෝ පීටර්සන් ලකුණු 24කට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි. එය රූපවාහිනී පුණරූපන වලින් තහවුරුවූ දැවී යෑමක් විය.

ඩිල්ෂාන්ගේ පන්දුවක් ඩිවිලියර්ස්ගේ ඉදිරි පාදයේ දැවටුණු අතර එයද රුචිර පල්ලියගුරු විනිසුරු නොදැවීමක් ලෙස ප්‍රකාශ කරද්දී ඩිල්ෂාන් එයට අභියෝග කළේය. රූපවාහීනී පුනරූපන එයද දැවීයෑමක් ලෙස තහවුරු කිරීමෙන් දකුණු අප්‍රිකාව මහත් අසීරුතාවකට පත් විය.

රංගන හේරත් තම 50 වැනි එක්දින කඩුල්ල ලෙස ඩුප්ලේසී දවා ගැනීමට සමත් වූ අතර එයට මද වේලාවකට පසු රාත්‍රී 9.50ට පමණ නැවැත වර්ෂාව බාධා ගෙන දුන්නේය. තරග නීති රීති අනුව රාත්‍රී 11.15 ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමී වූ බව විනිසුරුවෝ ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල ලකුණු 7ක් වෙද්දී උපුල් තරංග දැවී ගිය අතර සංගක්කාර හා ඩිල්ෂාන් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 59ක සම්බන්ධතාවක් ගොඩනැගුණි. මහේල ජයවර්ධන හා ඩිල්ෂාන් අතර තෙවැනි කඩුල්ලට ලකුණු 40ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබියදී ජයවර්ධන ලකුණු 17කට දැවී ගියේ පීටර්සන් එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙනි.

ජයවර්ධනට ඊයේ තරගයේදී ලබාගත හැකිවුයේ ලකුණු 17ක් පමණි. වෙනදා ආක්‍රමශීලීව පන්දුවට පහරදෙන ටී.එම්.ඩිල්ෂාන් මේ තරගයේදී පන්දු 64කදී ලකුණු 43ක් ලබා සංයමයෙන් යුතු ඉනිමක් ගොඩනැගීම කැපී පෙනුණි. ඔහු‍ගේ ඉනිමට එක් හතරේ පහරක් ඇතුළත්ව තිබුණි.

නායක චන්දිමාල් මැද පෙළට ජීවයක් ගෙනදෙමින් පන්දු 51කදී හතරේ පහර 4ක් සමග ලකුණු 43ක් ලබාගත් අතර මෝකල්ගේ පන්දුවකට ඩුප්ලෙසීස් අතට උඩ පන්දුවක් ලබා දුන්නේය. ජෙහාන් මුබාරක්ට ලැබුණු තවත් අවස්ථාවක් අසාර්ථක කරගනිමින් ලකුණු 8කට දැවී යෑම අවාසනාවන්ත සිදුවීමකි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු තුන ලකුණු 28කට දවාගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වුහ.

ආරම්භක වේගපන්දු යැවු මෝනි මෝකල් ලකුණු 34කට කඩුලු 3ක් දවා පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කළ අතර අනෙක් සියලු පන්දු යවන්නෝ කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වුහ. තරග‍යේ වීරයා ලෙස දිනේෂ් චන්දිමාල් නම් කෙරිණි.

Gossip Lanka Hot News Previous News Archive