ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 'ස' නමැති ආදර නාමයෙන් හඳුන්වන මැය ඉකුත් 11 වැනිදා කොදෙව් සහකරුවකු සමග අතිනත ගත්තාය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශයේ තරග කරමින් සිටින අතරතුර ආරම්භ වූ මෙම පෙම් පටලැවිල්ල දැන් විවාහයකින් කෙළවර වී හමාරය. විශේෂත්වය වන්නේ ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවකි. ඔහු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පරිගණක විශ්ලේෂකයෙකි. පුහුණුකරුවෙකි.
2002 වසරේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක් වූ 'සඳා' එක්දින ජාත්‍යන්තර තරග 53 කට සහභාගි වී ලකුණු 431 ක් සහ කඩුලු 25 ක් බිද දමා ඇති අතර ඉහළම ලකුණු සංඛ්‍යාව 74 කි. විවාහයත් සමග සිය ක්‍රිකට් දිවියට නැවතීමේ ලකුණ තැබීමට බලාපොරොත්තු වන ඇය කොදෙව් දේශයෙන් හමුවූ සහකරුවා පිළිබඳව මෙසේ 'දිවයින' ක්‍රීඩා සංග්‍රහය සමග කථා බහක නිරතවිය.
ප්රශ්නය - ක්‍රිකට් ගහන්න ගිහිල්ල කොහොමද මෙහෙම සම්බන්ධයක් ඇති වුණේ?
පිළිතුරු - 2011 අපි බටහිර ඉන්දීය කොදෙව් දූපතේ පැවැති තරගාවලියකට ගිය වෙලාවෙ තමයි මුලින්ම මේ සම්බන්ධයේ ආරම්භය ඇති වුණේ. එයා අහල තිබ්බ අපේ පරිගණක විශ්ලේෂකගෙන් මම ගැන.
ප්රශ්නය - ක්‍රිකට් තරගාවලියක් අතරතුර ආපු මංගල යෝජනාවකට එකපාරම කැමති වුණාද?
පිළිතුරු - නැහැ. එයාට මගේ නම වැරදිල කියල තියෙන්නෙ අපේ ටීම් එකේ ශ්රීපාලිට කැමැතියි කියල. පස්සෙ අපි කිව්ව ශ්රීපාලිට කැමැති වෙන්න කියල. බැලින්නම් එයාට නම වැරදිල පස්සෙ නැහැ සඳා කියල මාව පෙන්නුවලු. ඊට පස්සෙ තමයි මම දැන ගත්තෙ මෙයා මට ආදරය කරනව කියල.
ප්රශ්නය - ප්‍රතිවාදී කණ්ඩායමේ සාමාජිකයකුගෙන් මංගල යෝජනාවක් ලැබිල තියෙද්දී මොන වගේ හැඟීමක්ද තරග කරනකොට ඇතිවුණේ.
පිළිතුරු - "මම ඒ යෝජනාව එච්චර ගනන් ගත්තෙ නැහැ. මම මගේ පාඩුවේ සෙල්ලම් කළා. හැබැයි එයා කියල තිබ්බ සඳාව අවුට් කරන්න ඕන විදිහ මම දන්නව කියල. එයා ගාව වීඩියෝ තියෙනවා කියලා අපේ කම්පියුටර් විශ්ලේෂකට කියල තිබ්බ. ස¹ට මේ ෆිල්ඩ් එක දැම්මොත් එයා අවුට් කරන්න පුළුවන් කියල තිබ්බ. පස්සෙ එයාගෙ රස්සාවට හානියක් නොවෙන විදිහට මට කතා කරල පෙන්නුවා මේ දේ වැරදියි ඒක හදාගෙන බැට් කරන්න කියල. ඒ හැරුණු කොට වෙන සම්බන්ධයක් ඒ තරගාවලියෙදි තිබුණෙ නැහැ."
පිළිතුරු - අපි ලංකාවට ආවට පස්සෙ එයා මට නිතරම එස් එම් එස් කළා. අපේ ටුවර් ගැන ඇහුවා. මෙහෙ ලෝක කුසලාන තරගාවලිය තිබුණ වෙලාවෙ ආයිත් හම්බ වුණා. ඊට පස්සෙ අපි ඉන්දියාවෙ ගියපු වෙලාවෙ එයත් ඇවිල්ල හිටියා. ඒත් හම්බ වෙලා කතා කරන්න මට වෙලාවක් තිබුණෙ නැහැ.
ප්රශ්නය - අන්තිමට සම්බන්ධය ස්ථිර වුණේ කොහොමද?
පිළිතුරු - කොදෙව් කාන්තා කණ්ඩායම අන්තිමට ලංකාවට ආපු වෙලාවෙ මගේ ඇඟිල්ල ආබාධයකට ලක් වුණා. ඒ අතරතුර දවසක් එයා මගෙ කාමරයට ඇවිල්ල පැය දෙකක් පමණ කතා කළා. ඊට පස්සෙ මම කැමැත්ත දුන්නා.
ප්රශ්නය - ආදයර දිග කතාවක් නෙමෙයිද?
පිළිතුර - ඇත්තටම ආදරය කරන්න කාලයක් තිබ්බෙ නැහැ. දෙතුන් පාරක් විතර තමයි හම්බ වුණේ. එස්.එම්.එස්. වලින් සහ ස්කයිප් එකෙන් තමයි ආදරය කරන්න වෙලාව හම්බ වුණේ. එතකොට මම දැන ගත්ත මෙයා හොඳ කෙනෙක් කියල.
ප්රශ්නය - මේ සම්බන්ධයට වැඩිහිටි බලපෑම් එහෙම ආවෙ නැද්ද?
පිළිතුර - එයාගෙ අම්මලට මේ ගැන කියල තිබ්බ. පස්සෙ එයාගෙ දෙමව්පියන්ව දවසක් හම්බ වුණා. මාස දෙකකට පමණ පස්සෙ ඒගොල්ලෙ මෙහෙ ආවා. එයාගෙ වැඩිහිටියෝ කියල තියෙන්නෙ වෙනත් රටකින් බඳින්න කියලා. ඒගොල්ලන් අපේ පෝරුවෙ චාරිත්‍රවලට කැමතියි. අපි අඳින පළඳින විදිහට කැමැතියි. අපේ ගෙදරිනුත් අකමැත්තක් තිබුණෙ නැහැ.
ප්රශ්නය - ඔබේ කොදෙව් සහකරුවාගේ විස්තර කිව්වොත්?
පිළිතුර - එයාගෙ සම්පූර්ණ නම දිනේෂ් ක්රේක් මහබීර්. වයස 31 යි. එයා දැනට කොදෙව් කණ්ඩායමේ පරිගණක විශ්ලේෂක ලෙස කටයුතු කරනවා. මීට අමතරව ටි්රනිඩෑඩ් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරනවා.
ප්රශ්නය - විවාහයෙන් පසු මොනවද ඉදිරි කටයුතු?
පිළිතුර - දිනේෂ් ආයිත් එයාගෙ රටට යනවා. මම චැම්පියන්ස් ලීග් තරගාවලියට අයර්ලන්තයට යනවා. ඊට පස්සෙ දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. එතනින් පස්සෙ මම ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීලා බටහිර ඉන්දීය කොදෙව්වලට ගිහිල්ල දිනේෂ් සමග ජීවත් වෙනවා.
ප්රශ්නය - ඔබේ ක්‍රිකට් මෙහෙවර විවාහයත් සමග නිමා වෙනවද?
පිළිතුර - ඔව්. මට ආයිත් ක්‍රිකට් සෙල්ලම් කරන්න ආශාවක් නැහැ. නමුත් කොදෙව් ක්ලබ් එකකින් ඇරයුම් ලැබිල තියෙනවා. ඒත් මම පුහුණුකාරිනියක් වෙන්න තමයි බලාපොරොත්තුව.
සාකච්ඡා කළේ - අසේල විතාන