ජපානය දැන්වීම් ප්‍රචාරණ කලාවේ තවත් පියවරක් ඉදිරියට ගොස් සිටී. අලුත් පියවරේ දී ජපානය දැන්වීම් ප්‍රචාරණයට ප්‍රයෝජනයට ගන්නේ ගැහැනුන්ගේ කලව ප්‍රදේශයයි. දැන්වීම් ප්‍රචාරය කිරීමේ අලුත් ක්‍රමය ජපානයේ ටෝකියෝ නුවරට පමණක් තවමත් සීමා වී තිබේ. කවදාවත් ම කිසිම කෙනකුගේ කල්පනාවට නොඑන තැනක්, දැන්වීම් පළකරන්නට ටෝකියෝ නුවරට අවශ්‍ය වී තිබෙන්නේ අනෙක් සියලුම ආකාරයේ් දැන්වීම් පළකිරීම්වලින් ටෝකියෝ නුවර හෙම්බත් වී ඇති නිස යි. ජපානයේ ටෝකියෝ නුවර දී දැන්වීමක් පළකර පුද්ගලයකුගේ අවධානය ඒ දෙසට යොමුකරවා ගන්නට බැරි තරම් ය. එතරම් දැන්වීම් ප්‍රමාණයක් එහි තිබේ.
මේ නිසා දැන්වීම් ප්‍රචාරණ ආයතනවලට දැන්වීම් පළකරන්නට අලුත් අලුත් විදි යොදාගන්නට සිදුව ඇත. විට් දැන්වීම් පළකිරීමේ ආයතනය මත එකී අභියෝගය පැටවුණේ නිරායාසයෙනි. දැන්වීම්වලින් සංතෘප්තභාවයට එළැඹි ටෝකියෝ නගරයේ දී පුද්ගල ආකර්ෂණය දිනාගත හැකි මඟකින් දැන්වීමක් පළකිරීම විට් ආයතනය ජයගත්තේ ගැහැනුන්ගේ කලව ප්‍රදේශය දැන්වීම්වලට යොදාගනිමිනි. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හිදෙනොරි අත්සුමීට ඒ ගැන කියන්නට තිබෙන්නේ මෙවැන්නකි.
“දැන්වීමක් පළකරන්න එතන හොඳ සර්ව සම්පූර්ණ තැනක්. පිරිමින් නිරන්තරයෙන්ම ඒ දැන්වීම් දිහා බලනවා. ඒ බැල්මට නිරාවරණය වෙන්න කැමැති ගැහැනු ළමයිනුත් ඉන්නවා” නව පන්නයට දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට දැනටමත් කාන්තාවෝ 3000 ක් පමණ ඉදිරිපත් වී සිටිති.
දැන්වීම ඔවුන්ගේ කලව ප්‍රදේශයේ පින්තාරු කෙරේ. හරියට ම කියනවා නම් ටැටූ ගැසීමක් හා සමාන ය. එහෙත්, මේ ටැටූ ගැසීම තාවකාලික ය. ඒ විදියට ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම් කිහිපයක්ම දැනට තිබේ. එකක් ටෙඩ් චිත්‍රපටය පිළිබඳ දැන්වීමකි. අනෙක අමෙරිකා රොක් සංගීත කණ්ඩායමක් වන “ග්‍රීන් ඩේ” පිළිබඳ දැන්වීමකි.
කාන්තාවන්ගේ කලව මත දැන්වීමක් ටැටූ ගසා එය ප්‍රදර්ශනය කිරීම මුදලට යටවුණු දැන්වීම් පළකිරීමේ විදියකි. දිනකට බ්‍රිතාන්‍ය පවුම් 65 ක පමණ මුදලක් මෙමගින් කාන්තාවකට උපයා ගන්නට පුළුවනි. විට් ආයතනය කියන්නේ ආයතනය කියන විදියට සැරසෙන්නට එකඟ විය යුතු කාන්තාවන් ඔවුන්ට අවශ්‍ය බවකි.
වඩාත් වැදගත් වන්නේ ඉතා කෙටි සායවලින් සැරසී සිටීම. එසේම උස මේස් පැලඳීමටත් මේ කාන්තාවන් එකඟ විය යුතුය. එහෙම ඇඳ පැලඳගෙන සිටින්නට එකඟ වුණත් තවත් නීතිවලට ඒ කාන්තාවන් යටවිය යුතුය. දැන්වීමක් කළව මත රඳවා ගන්නට පුළුවන් වන්නේ අවුරුදු 18 හි වයස් සීමාවේ පසුවන තරුණියකට පමණි.
සමාජ වෙබ් අඩවියක මිතුරන් විසිදෙනකුවත් සිටින කෙනකු වීම අනෙක් සුදුසුකමයි. දැන්වීම් ඇතුළත් ස්ටිකරය ශරීරයේ ස්ථාන දෙකක ගසාගෙන පෙන්විය යුතුය. එම ස්ථානවල ඡායාරූප සහ දර්ශන අන්තර්ජාලයට එකතු කරන්නටත් ආයතනය ක්‍රියා කරයි.
ඒ නිසා මේ සෑම කොන්දේසියකටම එකඟ වන කාන්තාවන් තමන්ගේ පාදවල ඉහළ ප්‍රදේශවල දැන්වීම් පළකිරීමට පැමිණිය යුතුය. කොන්දේසි, නීතිරීති මොනවා වුණත් ඒ ගැන ඒ හැටි තැකීමක් නොකරන වැඩයට ඉදිරිපත් වන ජපන් කාන්තාවෝ ඕනෑ තරම් සිටිති. එහෙම සුලබ ඇය අතර මිහෝ මත්සුමොතෝ ත් වන්නීය. ඈ ඇගේ අත්දැකීම් ගැන කතා කරන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි.
“මගේ උදරය ප්‍රදේශයට වන්නට දැන්වීම් ප්‍රදර්ශනය කරන්න කියලා කිව්වා නම් මම එකඟ වෙන්නේ නැහැ. ඒත් මගේ කලව මත දැන්වීමක් පළකරලා ප්‍රචාරය කිරීමේ තියෙන වැරැද්ද මොකක්ද?”
දැන්වීම් ප්‍රචාරණයට ඉංගී‍්‍රසියෙන් කියන්නේ ඇඩ්වර්ටයිසින් කියාය. මිනිස් සම මත දැන්වීම් ප්‍රචාරණයට ඉංගී‍්‍රසි බසින් යෙදුමක් ද තිබේ. ඒ යෙදුම ස්කින්වර්ටයිසින් ය. ජපානය ගැහැනුන්ගේ කලවෙන් පටන් ගත් ස්කින්වර්ටයිසින් ලෝකයට ඒ තරම්ම අලුත් නැත. වෙබ් අඩවි නිර්මාණය කරන්නකු වන ඇන්ඩෘ ෆිෂර් දැන්වීමක් පළකරන්නට නළල අලෙවි කළේය.
ඒ සඳහා අමෙරිකා ඩොලර් 37,375 ක මුදලක් හෙතෙම අය කළේය. මාසයක කාලයක් පුරා නළල මත දැන්වීම ගසාගෙන සිටින්නට ඔහු ඒ මුදල අයකළේ ය. තාවකාලික ටැටූවක් ලෙස දැන්වීම නළල මත ගසනු ලැබිණි.
ඇන්ඩෘ ෆිෂර් මේ වැඩයට යොමුවුණේ 2005 වසරේදීය.
නිළියක වන ෂවුන් බ්‍රැග්වෙල් ද ස්කින්වර්ටයිසින්වලට යොමුවුණේත් 2005 වසරේදී ය. තමන්ගේ බෙල්ලට පහළින් එහෙත්, ළැමට ඉහළින් ඔන්ලයින් කැසිනෝ ව්‍යාපාරයක තම තාවකාලිකව ටැටූ කරගැනීමටත් එය ප්‍රදර්ශනය කිරීමටත් ෂවුන් එකඟ වූවා ය. අමෙරිකා ඩොලර් 15,000 ක මුදල් ෂවුන් බ්‍රැග්වෙල් එයින් උපයා ගත්තාය. ඒ එක් මසක දැන්වීම ප්‍රදර්ශන ගාස්තුවයි. අමෙරිකා ජාතික කැරොලයින් ස්මිත් තමන්ගේ පුතාගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා මුදල් සොයාගත්තේත් ඔන්ලයින් කැසිනෝ දැන්වීමක් තමන්ගේ නළලේ ගසාගෙන ප්‍රදර්ශනය කිරීමෙනි.
එහෙම බලද්දී ජපනුන් හපනුන් මෙන් කර තිබෙන්නේ පරණ තාලේ කලාවකට අලුත් තැනක් සොයාදීම නොවේදැයි කියා අසන්නට සිදුවේ.
ඇසුරිනි මංජුලා විජයරත්න