අද සමාජයේ බොහෝ දෙනා මුදල් පසුපස හඹා ගියත් ඒ අතරේ ජීවිතය, ආදරය සොයා යන පුද්ගලයිනුත් සිටිනවා. ඔවුන්ගෙන් කෙනෙකුට ජීවිතය ලැබෙද්දී තවත් කෙනෙකුට ආදරය ලැබී නොසිතූ බාධාවන් පැමිණ අවසානයේ විරහවකින් එය කොළවර වනවා. මෙලෙසින් අප අතර සිටින පුද්ගලයාගෙන් පුද්ගලයාට ජීවිතය දැනෙන ආකාරයත් ආදරය විඳින ආකාරයත් අවසානයේ විරහව දැනෙන විදිහත් වෙනස්. මෙලෙසින් ජීවිතයත් ආදරයත් විහරවත් ගැන අත්දැකීම් ඇති ප්‍රවීණ රංගන ශිල්පිණියක් වන කාංචනා මෙන්ඩිස් අප සමග මෙසේ අදහස් ප්‍රකාශ කළා.
මනුෂයෙක් වශයෙන් ඉපදෙන්න ලැබීම තරම් වාසනාවක් මේ ලෝකේ තවත් නැහැ. ඒ වගේම තමයි මම අදහන ආගමට අනුව ජීවිතය කියන්නේ දෙවියන් වහන්සේ දුන්න තෑග්ගක් හැටියටයි මට හැඟෙන්නේ. ඒ නිසා මේ ජීවිතේදි මොනතරම් කරදර බාධක ආවත් දුකෙදීත් සැපේදීත් ඒ හැමදේටම එකවගේ මුහුණ දිය යුතුයි.
ජීවිතයක් ලැබුණු පසු ඊට වටිනාකමක් එක්‌කරමින් ජීවිතය ජීවත් කරවන්න ආදරය අවශ්‍යයි. ඒ නිසයි ඉපදුණු මොහොතේ පටන් අපි ආදරය සොයන්නේ. එහෙම හොයන මුල් අවස්‌ථාවෙදි තමයි අපිට අපේ අම්මව මුණ ගැහෙන්නේ. ඒ ආදරය තරම් උත්තරීතර ආදරයක් මේ ලෝකේ තවත් නැහැ. ඉන් පසුව තමයි ටිකෙන් ටික ජීවිතේට අත්දැකීම් එකතුකරගනිමින් යහළු යෙහෙළියන්ගේ ආදරය ලබන්න යොමුවෙන්නේ. ඒ අතරේ සහෝදර සහෝදරියනගේ ආදරයත් මූලික වෙනවා. ඒ කාලය කෙමෙන් කෙමෙන් මැකී යන විට තමයි අපිටත් නොදැනීම තාරුණ්‍යයේ ආදරය සොයා යන්නේ.
ඇත්ටම අද සමාජයත් එක්‌ක ගත්හම තරුණ තරුණියන් අතරේ ඇතිවන ආදරණීය සිතුවිලි වලදි හරිම පරීක්‍ෂාකාරී විය යුතුයි. නැත්නම් එයින් අත්වෙන භයානක ප්‍රතිපල ලෙස ජීවිතේ කඩාවැටෙන්න පුළුවන්. අසරණ වෙන්න පුළුවන්. මට දැනෙන දෙයක් තමයි වර්තමානයේ පෙම්වතුන් පෙම්වතියන් ආදරය කියන සුන්දර වචනය තෝරගෙන තියෙන්නේ බොරු මවාපෑමකට පමණයි. එහිදි විවෘත ආර්ථිකය සමග ආදරය තීන්දු වෙන්නේ ගෙවල් දොරවල් යාන වාහන කෙටියෙන්ම කිව්වොත් මුදල් මත අද තාරුණ්‍යයේ ආදරය විකිණිලා. එවැනි බොහොමයක් සම්බන්ධතාවල අවසාන ඵලය වන්නේ විරහව විතරයි.
ඔබත් එවැනි අත්දැකීම් ලැබුව කෙනෙක්‌ද?
ඔව්, ඇත්තටම මගේ ජීවිතේදිත් ආදරයෙන් පරාද වුණු අවස්‌ථා තිබුණා. ඒ කාලේ මට තිබුණේ බොහොම සැළෙන හිතක්. නමුත් එවැනි කඩාවැටීම්වලදි වුණත් මම මානසිකව පසුබැස්‌සේ නැහැ. ඉවසීමෙන් කටයුතු කළා. අද මට හිතෙනවා එළෙසින් විරහවක අත්දැකීම් ලබන්න ලැබුණු නිසා තමයි මගේ හිත අද මේ තරම් ශක්‌තිමත් වී තිබෙන්නේ කියලා. ඒ නිසා ජීවිතේට පන්නරයක් ලබන්න නම් විරහවක අත්දැකීම් එකතුවිය යුතුයි. අද මට ඒ අත්දැකීම්වල මතකයක් පමණයි ඉතිරිව තියෙන්නේ. ඒ නිසයි ඒ සිදුවීම් දිහා සුබවාදීව බැලිය යුත්තේ. එහෙම හිතන කෙනෙක් කවදාවත් සියදිවි නාසාගැනීම් වැනි මානසික අතතීන් ජීවිතේ නැති කරගැනීමට තරම් විශාල ආයුධයක් කරගන්නේ නැහැ.
මේ සිදුවීම් දිහා හැරිලා බලද්දී මට හැඟෙන එක දෙයක් තමයි තාරුණ්‍යයේ ආදරේ කොතරම් සුන්දරයි, අවංකය, කිව්වත් දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙන ආදරය තරම් පිවිතුරු පූජනීය ආදරයක් මේ ලෝකේ තවත් නැහැ. ඒ වටිනාකම මට අද දැනෙන්නේ මමත් දරුවෝ දෙන්නෙක්‌ගේ අම්මා කෙනෙක් නිසා. ඒ ගරුත්වය මුලින්ම හිමිවෙන්න ඕනේ මගේ සැමියට. ඔහු ආදරෙන් පිරුණු මගේ ජීවිතය ඉදිරියේ ඉන්න දැවැන්ත වක්‍ෂයක් වගෙයි.