දහතුන් වසරකට ඉහතදී තමන්ට වද හිංසා පැමිණවීමට නියෝග දුන් අය හට අනාගතයේ දඬුවම් ලැබීම නියත බවට චන්ද්‍රලේඛා - රූකාන්ත යුවළ විශ්වාසය පළ කරයි.“අපේ රට ගන්න ඕනේ නැහැ. වෙනත් රටවල් බලන්න. එහෙම වැරදි කරපු ලොකු ලොකු අයට කොච්චර දඬුවම් ලැබිල තියනවද?” යි රූකාන්ත ගුණතිලක විමසීය.
වරදට දඬුවම් ලැබුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් දස දෙනෙක්.2000 වසරේ ජනවාරි 26 වැනිදා රාත්‍රියේ රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවලගේ නිවසට ඇතුල්වී ගිනි අවි පෙන්වා තර්ජනය කොට සාපරාධී බිය වැද්දීම් සිදු කිරීමේ වරදට පානදුර මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත මාස පනස් හතරක සිර දඬුවම් නියම කරනු ලැබුවේ අගෝස්තු මස මුලදී.දඬුවම් ලැබුවන්ට සමාව දෙන බව අද කොළඹ දී මාධ්‍ය වේදීන් හමුවේ කියා සිටි ගායක ගායිකා යුවළ ප්‍රකාශ කළේ ප්‍රහාරයට අණ දුන් අය කිසිත් සිදූ නොවූ සේ සිටින බවයි.
සැබෑ වැරදිකරුවන් දඩුවම් ලබා නැතැයි පවසන චන්ද්‍රලේඛා පෙරේරා වරදට හසුවුවන් කළේ ඉහලින් ආ අණ ක්‍රියාත්මක කිරීමක් පමණක් බවද පැවසුවා ය.
එසේ නියෝග කළ අයට සමාව දෙන්නේදැයි කළ විමසීමට රූකාන්ත ගුණතිලක පිළිතුරු දුන්නේ, ‘නියෝග දුන් අය දුන්නේ නැහැ වගෙයි නේ ඉන්නේ. කිව්වොත් සලකා බලන්නම්.’ යනුවෙන්.තමන් එදා එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට ගොඩවිම මේ ප්‍රහාරයට හේතුව බව පවසන රූකාන්ත, කලාකරුවන්ටද අන් අයට මෙන් දේශපාලනය කිරීමට අවස්ථාව තිබිය යුතු බව පැවසීය.