මේ වසරේ ඒඩ්ස් රෝගයට ළංවී සිටින එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත් පුද්ගලයන් 4500ක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බවට ඇස්තමේන්තු ගතකර ඇතැයි ලිංගාශ්‍රීත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි. එහෙත් මේ වන විට එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්ව සිටින හඳුනාගෙන ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1739ක් බව තහවුරු කරගෙන ඇතැයිද වෛද්‍ය ලියනගේ මහතා සඳහන් කෙළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමවේදය මත මේ ඇස්තමේන්තුගත කිරීම සිදුකොට ඇති බවද ඔහු පැවැසීය.
ඔහු පවසන අන්දමට මේ වසරේ එච්.අයි.වී. ආසාදිත ළමයින් සංඛ්‍යාව 64කි. ඇස්තමේන්තුගත කර ඇති පුද්ගලයන් ඔවුන්ගේ සිරුර තුළට එච්.අයි.වී. ආසාදිත වෛරසය ඇතුළුවී තිබෙනු නොදැන සිටිනවා විය හැකි බැවින් මෙවැනි සැකසහිත පුද්ගල යන් හැකිතරම් දුරට පරික්ෂාවට භාජන කළයුතු බවද ඔහු පෙන්වා දෙයි.
වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරන්නේ පසුගිය වසරේ මුල් හය මාසයට වඩා මේ වසරේ මුල් හය මාසය ඇතුළත රෝගීන්ගේ වැඩිවීමක් දකින්නට ලැබෙන බවයි.
ඒඩ්ස් රෝගයට ළංවන එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්වූවන්ට ඒ.ආර්.සී. නමැති වෛරස් අඩපණ වන බෙහෙත් කඩිනමින් ලබාගතහොත් එය ඒඩ්ස් දක්වා පැතිරී යෑම ටික කලකට වළක්වා ගතහැකි බවද ඔහු පැවැසීය. ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගය වැලඳී මේ වන විට 299 දෙනකු මියගොස් ඇත. මේ වසරේ ඒඩ්ස් ආශ්‍රීත රෝගයෙන් 16 දෙනකු මියගොස් ඇති බවද හෙළිවී තිබේ.
අනාරක්ෂිත ලිංගික සබඳතා නිසා එච්.අයි.වී. ආසාදිතයන් බෝවීම වැඩිවීම සියයට 96ක් පමණ බව පර්යේෂණවලදී හෙළිවී තිබේ.
ලිංගාශ්‍රීත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය මේ වසරේ කාර්තුවෙන් කාර්තුවට නිකුත් කරනු ලබන වාර්තා පදනම් කරගෙන මේ තොරතුරු හෙළිවී ඇති බවද ඔහු පැවැසීය.