මලක්‌ නැසූ පාපතරයා !

දියතලාව ඇල්ලෙගම අට හැවිරිදි දැරියක තලාපෙලා විනාශ කර දැමූ උණුසුම පහව යන්නටත් පෙර ඒ ආසන්නයේම වැලිමඩ බොරගස්‌ ප්‍රදේශයේදී අවුරුදු එකයි මාස දෙකක දැරියක්‌ ඊටත් ඩවා කුරිරු අන්දමින් මෙලොවින් තුරන් කර තිබිණ.දිනෙන් දින සිදු වන්නා වූ විවිධාකාර අපචාරවලින් දෙකක්‌ පමණක්‌ නොව දරුවන් ඇති අම්මලාටත් මෙම සිද්ධීන්වලින් ඉගෙන ගතයුතු අමතක නොවන පාඩම්ද ඒවාට පාදක වී තිබේ.

හල්දුම්මුල්ලේ එම්. ජයචිත්‍රාගේ පළමු විවාහය දෙදරා ගියද ඇයට එයින් දියණියන් දෙදෙනකු ඉතිරි වි සිටියහ.වැඩිමහල් දියණියගේ වයස අවුරුදු පහකි. බාල දියණිය අනුෂා සඳුනිට මාස හයක්‌ පිරී තිබියදී අග හිඟකම් ජයචිත්‍රාට වැඩි වන්නට විය.එහිදී ඇය දියණියන් දෙදෙනා මවගේ රැකවරණයේ තබා වරකාපොල ප්‍රදේශයේ නිවසක වැඩට ගියාය.වරකාපොල නිවසේ ඇය සමග තවත් පිරිමි සේවකයෙකුද සිටියේය. ඔහු නමින් සූරසේනය. තිස්‌අට හැවිරිදි ඔහු ජයචිත්‍රා සමග අනියම් සබඳතාවයකට පැටලී තිබුණේද එහිදීය. එහෙත් ඒ සම්බන්ධය නිවෙස්‌ හිමියන් දැනගත් විගස දෙදෙනාටම එම නිවසෙහි දොර වැසිණ.

මාසයක්‌ තුළ ජයචිත්‍රාට හා සූරසේනට මේ නිසා සූරසේනගේ උපන්ගම වූ උඩපුස්‌සැල්ලාවේ රක්‌වාන වෙත ඒමට සිදුවිණ. මෙහිදී මාස හයක කුඩා දැරිය අනුෂා සඳුනිද උඩපුස්‌සැල්ලාවට තම මවගේ රැකවරණයෙන් මුදාගෙන හල්දුම්මුල්ලේ සිට ජයචිත්‍රා රැගෙන ආවාය.


පසුව එම ප්‍රදේශයේ ඔවුන් තිදෙනාට ජීවත් වීමට තරම් ආදායමක්‌ එන මගක්‌ නොමැති නිසා ඔවුහු වැලිමඩ බොරගස්‌ ප්‍රදේශයට ගියහ. ඒ මීට මාස එකහමාරකට පමණ පෙරදියි. එහි කුලී වැඩ කරමින් ජීවත් වූ ඔවුන් පසුගිය 16 දින ජයචිත්‍රාගේ අසනීපයක්‌ නිසා වැලිමඩ මූලික රෝහලට ඇතුළු වූවාය. ඉන්පසු සූරසේන හා අනූෂා සඳුනි පමණක්‌ නිවසේ තනිවූහ.

17 දින අලුයම සූරසේන සිඟිති දියණියද තුරුලු කරගෙන වැලිමඩ රෝහලට පැමිණියේ දැරියටද අසනීප බව පවසමින්ය.

රෝහලට ඇතුළු කළ දැරිය වෛද්‍යවරුන් විසින් පරීක්‍ෂා කරන විටත් මියගොස්‌ සිටියාය. මේ සිද්ධියෙන් පසු සූරසේනද අතුරුදන් විය.

මේ අතුරුදන් වීම හා දැරියගේ මරණය පිළිබඳ ඇතිවූ සැකය නිසාම වැලිමඩ මහෙස්‌ත්‍රාත් නියෝගයක්‌ මත වෛද්‍ය වාර්තා ලබා ගැනීමට බදුල්ල මහ රෝහලට යෑවිණ.

ජයචිත්‍රා සූරසේනට ශාප කරමින් රෝහල දෙවනත් කළාය.

මේ වන විට 19 දින බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒ. ටී. අයි. විඡේවීර මහතාගේ නිගමනය වූයේ දැරියගේ හිසට පහර දීමෙන් මොළය තුළට ලේ ගැලීමෙන් වූ මරණයක්‌ බවයි. එසේම දැරියට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදුව ඇති බවද වාර්තා කළේය.

දැරියගේ දෙපා කලව ප්‍රදේශයේ තලා පෙළා සිගරට්‌ කොටවලින් පුළුස්‌සා තිබූ බවද හෙලිවිණ. එනිසා ඇගේ සිරුර රෝහල්ගත කරන විට නිල්පැහැ ගැන්වී තිබිණි.

මේ නිගමනය ලද විගස වැලිමඩ පොලිස්‌ ස්‌ථානාධිපති බුද්ධික ඒකනායක මහතා වැලිමඩ පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක තුසිත් කුමාර මහතාගේ උපදෙස්‌ මත සැරයන් චන්ද්‍රපාල ඇතුළු පිරිසක්‌ සූරසේන අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්‌ දියත් කළහ.

මාස අටක්‌ ජයචිත්‍රා සූරසේන සමග අනියම් ඇසුරක්‌ පවත්වා තිබුණද ඔහුගේ නම ගම තොරතුරු කිසිවක්‌ම ඕ නොදැන සිටියාය.

මේ කරුණ අපේ අනෙක්‌ අම්මලාටත් හොඳ පාඩමක්‌ය.

මේ දිනවලදීම වස පානය කළ පුද්ගලයෙකු උඩපුස්‌සැල්ලාව රෝහලේ සිටින බවට වැලිමඩ පොලිසියට තොරතුරක්‌ ලැබිණ. ඒ අනුව සොයා බැලීමේදී ඔහු සූරසේන බව වැලිමඩ පොලිසිය එහි ගොස්‌ කළ පරීක්‍ෂණවලදී හෙළිවිය.

පසුව මෙම දැරියගේ මරණය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සඳහා සූරසේනව උඩපුස්‌සැල්ලාව රෝහලින් අත්අඩංගුවට ගෙන වැලිමඩ මූලික රෝහලට මාරු කළේය.

පොලිසියේ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ සූරසේන සිදුවූ සියලු කරුණු මෙසේ හෙළි කළේය.

මම 16 දින ජයචිත්‍රාව වැලිමඩ මූලික රෝහලේ නවතලා දැරියත් රැගෙන බොරගස්‌ කුලී නිවසට ගියා.රාත්‍රියේ මැදියම වන තුරුම මා ඇයට විවිධ ලිංගික අපයෝජන කළා.එහිදී දැරිය යටිගිරියෙන් කෑගසන්න වූවා. මා අහළ පහළ අයට ඇසේවි කියලා මිට මොලවලා දරුවාගේ හිසට ටොකු තුනක්‌ පමණ හයියෙන් ඇන්නා.දැරිය එවිට නිහඬ වෙලා නිදා ගත්තා.රාත්‍රි දෙකට විතර දැරියගේ සිරුර ශීතල වී තිබුණ නිසා ඒ වෙලාවේ දැරිය රැගෙනවිත් වැලිමඩ මූලික රෝහලට දීලා මා උඩපුස්‌සල්ලාවේ ගියා.

මගේ විවාහ දෙවරක්‌ම කඩා කප්පල් වූ නිසා මාත් සිත කල කිරීමෙනුයි මේ සියලු දේ කර ගත්තේ. ඔහු එසේ පාපොච්චාරණය අවසන් කළේය.කෙසේ වුවද මහ පොළොව පවා නුහුලනු ලබන මෙවැනි පාපතරයන්ට සමාවක්‌ නම් නොලැබෙනු ඇත.

Gossip Lanka Hot News Previous News Archive