සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ඉගිලෙන මාළුවෝ සිනමා කෘතියට තම නිර්මාණ දායකත්වය ලබාදුන් කලාකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඩි ) කැඳවා ප්‍රශ්නකරමින් පවතින බව වාර්තා වෙයි.
පසුගිය 30 දා දින වන විට චිත්‍රපටයට සම්බන්ධ බොහෝ නළු නිළියන් ප්‍රමාණයක් රහස් පොලීසියට කැඳවා තිබුණු අතර ඔවුන්ගෙන් ප්‍රශ්නකොට සාක්ෂි සටහන් කර ගත් බවද එහිදී චිත්‍රපටයට මුදල් ලැබුණු ආකාරය, රූගත කළ ආකාරය, නළු නිළියන් තෝරාගත් ආකාරය වැනි කරුණු පිළිබඳව විමසූ බවද වාර්තා වේ.
එමෙන්ම එහිදී රහස් පොලීසිය හමුදා ඇඳුම් චිත්‍රපටයක් සඳහා භාවිත කිරීමට අවසර ගැනීමේදී ඊට අදාළ නිර්දේශ කි‍්‍රයාත්මක කරන බවට පොරොන්දු වන ලිපියක් නිකුත්කරන බවද ඉගිලෙන මාළුවෝ සඳහාද එවැනි නිර්දේශ අඩංගු ලිපියක් සංජීව පුෂ්පකුමාර මහතාට දුන් බවද පවසමින් එම ලියැවිල්ල පෙන්වා එය දුටු බවට චිත්‍රපටියට සම්බන්ධ ශිල්පීන්ගෙන් අත්සන් ලබාගෙන ඇත.
'' රූගත කරන ස්ථානයේ හමුදා නිලධාරියෙකු අධීක්ෂණ මට්ටමින් සිටිය යුතුයි. සිනමා කෘතිය තුළ හමුදා නිලධාරීන් අපකීර්තියට පත්නොකළ යුතු, හමුදාවේ චිත්ත ධෛර්යය වර්ධනය වන ආකාරයේ සිනමා කෘතියක් විය යුතුයි, ත්‍රස්තවාදී කණ්ඩායම්වල කටයුතු උද්දීපනය නොවිය යුතුයි, රජය අපහසුතාවට පත්නොකළ යුතුයි'' යනුවෙන් එම නිර්දේශ සකස්වී තිබී ඇත. රහස් පොලීසිය එම ශීල්පීන්ගෙන් ඔවුන් සහභාගි වූ එම නිර්මාණය තුළ ඉහත නිර්දේශ අන්තර්ගත දැයි වැඩිදුරටත් විමසා ඇත.
සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාළුවෝ චිත්‍රපටිය ප්‍රථමවරට පසුගිය ජූලි 11 වැනි දින ප්‍රංශ චිත්‍රපට උළෙල වෙනුවෙන් බී.එම්.අයි.සී.එච් හිදී තිරගත වුණ අතර එම සිනමා කෘතිය සම්බන්ධයෙන් ජූලි 12 වැනි සිකුරාදා දින රාති‍්‍ර 9.30ට ස්වාධීන රූපවාහිනිය තම ප්රවෘත්ති විකාශය තුළින් කියා සිටියේ මෙම කෘතිය නිර්මාණය සඳහා එල්ටීටීඊ ඩයස්පෝරාව සහ රාජ්‍ය නොවන සංවිධාන මුදල් වැයකර ඇති බවයි.
මෙම ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීම කොළඹදී සිනමා කෘතියට විරුද්ධව උද්ඝෝෂණයක් සංවිධානය කිරීම ආදී සිදුවීම් සමග මෙම සිනමා කෘතිය පිළිබඳව රහස් පොලිස් විමර්ශන ඇරඹුණ බවට තොරතුරු වාර්තාවන අතර එහිම ඉදිරි පියවරක් ලෙස පසුගිය ජූලි 12 වැනි දිනට ආසන්න දිනකදී ඒෂියා ඩිජිටල් එන්ටටේන්මන්ට් ආයතනයට රහස් පොලිස් නිලධාරීන් පැමිණ අවශ්‍ය තොරතුරු සියල්ල ලබාගත් බවද වාර්තා වෙයි.
ඉගිලෙන මාළුවෝ සිනමා කෘතියේ අධ්යක්ෂවරයා දැනට කොරියාවේ තුළ සිනමාකරණය පිළිබඳ උසස් අධ්‍යාපනය ලබමින් සිටින අතර එම දිනවලට ති‍්‍රකුණාමලයේ තඹලගමුවේ ඔහුගේ නිවසට යන රහස් පොලීසිය යැයි කියා ගන්නා සිවිල් නිලධාරියකු සංජීව පුෂ්පකුමාරගෙන් ආර්ථික තත්ත්වය විමසූ බවද වාර්තා වෙයි.
ඉගිලෙන මාළුවෝ සිනමා කෘතියට නූතනයේ ඇතිවී තිබෙන කනගාටුදායක තත්ත්වය සහ එය ලංකාවේ කලා ක්ෂේත්රයට ඉදිරියේදී කුමන අයුරකින් බලපාන්නේදැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් එහි ලේකම් හර්බට් කුමාර අලගියවන්න මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාළුවෝ සිනමා කෘතියට උදාවී තිබෙන මෙම තත්ත්වය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.
එමෙන්ම රටක සංස්කෘතියට සහ කලාවට මැදිහත් වෙමින් ගෙනයන මෙම වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්ය.
මෙම ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ප්‍රවීණ සිනමා අධ්යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා කියා සිටින්නේ, නූතනයේ දරුණු අන්තවාදයකට කලාව නතුකරමින් තිබෙන බවත්, කලාව සහ කලාකරුවා එමගින් ගලවා ඔවුන්ගේ අයිතිය සුරැකීම සඳහා පේ්රක්ෂකයා පෙරට ආයුතු කාලයක් උදාවී ඇති බවත්ය.
එමෙන්ම යුද්ධයෙන් පසු රට තුළ වර්ධනය වූ දේශපේ‍්‍රමී සහ දේශද්‍රෝහි සහ ලේබල් පිළිබඳව නැවත රටක් ලෙස සිතා බැලිය යුතු කාලය උදාවී ඇති බවත් ඔහු පවසයි.
මේ සියලූ කරුණු සහ රහස් පොලිස් පරීක්ෂණ පිළිබඳව රහස් පොලීසියේ ප්‍රධානී ගාමිණී මතුරට මහතාගෙන් කළ විමසුමට පිළිතුරු දෙන ඒ මහතා කියාසිටියේ, එවැනි කැඳවීමක් ඉගිලෙන මාළුවෝ චිත්‍රපටියේ ශිල්පීන්ට නොකළ බවය.
එහෙත් රහස් පොලීසියේ විශේෂ විමර්ශන අංක 3හි වන පොලිස් ස්ථානාධිපති රංජන් ළමාහේවගේ මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ, ඉගිලෙන මාළුවෝ සිනමා කෘතිය පිළිබඳව රහස් පොලීසිය තමා යටතේ පරීක්ෂණයක් ආරම්භ කළ බවත් කලාකරුවන් රහස් පොලීසියට ගෙන ඒම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කළ නොහැකි බවත්ය.
මේ පිළිබඳව පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසීමට කිහිපවරක් උත්සාහ කළද ඒ උත්සාහය අසාර්ථක විය.
-රාවය-