''ලංකාවට ආවේ විවේචනය කරන්න නොවේ'' - එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය

තමා පැමිණියේ ශ්‍රී ලංකාව විවේචනය කිරීමට නොව, රටේදී ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනයක් සිදු වේ නම් ඒ පිලිබඳව අවධානය පළ කිරීමට බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය පවසයි. නවී පිල්ලේ ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ඇගේ කාර්යභාරයට එරෙහිව එල්ල වන විවේචන බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් විසින් ඇය වෙත යොමු කරන ලද අවස්ථාවේය.
 අද ශ්‍රී ලංකාවට ලඟා වූ මහ කොමසාරිස්වරිය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය හමුවීමට පෙර මඳ වේලාවකට මාධ්‍යවේදීන් හමුවූවාය.
 "ශ්‍රී ලංකාව ඇතුළු, මුළු ලෝකෙම ආණ්ඩු විසින් එකඟවෙලා සකස් කරලා තියෙන මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලවයි, මගේ නිරීක්ෂණය සිද්ද වෙන්නේ. මම මගේම නීති හදා ගෙන නැහැ," යනුවෙන් ද ඇය සඳහන් කළාය.
 ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙන් මීට පෙර ආණ්ඩුව තමන්ට ආරාධනා කළ නමුත්, උගත් පාඩම් කොමිසමේ වාර්තාව නිකුත් වන තුරු එම සංචාරය පමා කිරීමට තමන් තීරණය කළ බව ද ඇය සඳහන් කළාය. 

 මේ අතර ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූ අපරාධ සියැසින් දුටු අය රහසිගත කඳවුරු වල සිටිය හැකි බව අතුරුදහන් වූවන් සොයා බැලීම සඳහා වන කමිටුව ප්‍රකාශ කරයි. ඒ කඳවුරුවලට යාමේ ඉඩක් ලබා ගත හැකි වෙතොත් මහ කොමසාරිස් වරියට තොරතුරු හෙළි කර ගැනීමේ අවස්ථාවක් උදාවනු ඇති බව කමිටුවේ ප්‍රධාන ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් කියා සිටියේය.
 -බිබිසි සංදේශය

Gossip Lanka Hot News Previous News Archive