චිත්‍රපටයක භික්ෂුවකගේ චරිතයට රඟපෑම සඳහා පෙරහුරුවක් ලෙස මහන වූ බව පවසන සනත් ගුණතිලක මහතාට, වැරදීමකින් හෝ මිනීමරුවකුගේ චරිතයක් සඳහා ඇරයුම් නොකිරීමට චිත්‍රපට අධ්යක්ෂවරුන් හා නිෂ්පාදකයින් වගබලා ගත යුතු යයි ‘රාවණා බලය’ සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අවධාරණය කර සිටිති.
ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා හඟුරන්කෙත විමලරතන නමින් බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වීම පසුගිය සතියේ කාගේත් අවධානයට ලක්වූ සිදුවීමක් විය. ඒ මහතා පැවිදිව ඇත්තේ සතියක කාලයක් සඳහා තාවකාලිකව බවද පැවැසිනි.
පැවිදි දිවියේ ගත කරන කාලය ගැන නොසිතා මෙම සිදුවීමට විශාල ප්‍රසිද්ධියක් හිමි වූයේ සනත් ගුණතිලක මහතා මෙරට ජනප්‍රියම රංගන ශිල්පියකු වූ හෙයිනි. කෙසේ වෙතත් මෙම පැවිදි වීම පසුව භික්ෂූ සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වූ අතර ඇතැම් භික්ෂූහු එය දැඩි ලෙස විවේචනය කළොය.බුදුරජාණන් වහන්සේගේ කාලයේ තාවකාලිකව පැවිදි ජීවිතයට ඇතුළත් වූවන් ගැන වාර්තා වන්නේ නැත. මේ සංකල්පය ක්‍රියාත්මක වන්නේ තායිලන්තයේයි. පැවිදි ජීවිතයට ඇතුළත් වූවෙකු රටට ආදරය කරන, සංවර, හික්මීමෙන් යුක්ත, ආචාරශීලී පුද්ගලයෙකු බවට පත් වන බව විශ්වාස කරන තායිලන්ත ජාතිකයන් තාවකාලිකව හෝ පැවිදි දිවියේ සිටි අයට විශේෂ සැලකිල්ලක් දක්වයි.
තායිලන්ත සමාජයේ මෙවැනි සම්ප්රදායක් පැවතියද ථෙරවාදී සම්ප්රදාය අනුගමනය කරන ශ්‍රී ලංකාව තුළ එකල මෙවැනි ක්‍රියාවලියක් දක්නට තිබුණේ නැත. නමුත් මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ ද මෙම තාවකාලික පැවිද්ද ක්‍රියාත්මක වනු දක්නට ලැබේ.
මේ සම්ප්රදාය මෙරට ඇති කරන වකවානුවේ මහා නායක හිමිවරුන් හා ථෙරවාදී සම්ප්රදාය ගරු කරන හිමිවරුන් බොහෝ දෙනෙකු මේ ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කරනවාට දැඩිව විරුද්ධ වී ඇත.
ථෙරවාදී සම්ප්රදාය තුළ දෙමාපිය අවසරයකින් තොරව කුඩා දරුවෙකු පැවිදි නොකරයි. අවසරය ඇතිව පැවිදි කිරීමට පන්සලට රැගෙන එන දරුවන් පැවිදි කිරීමට පෙර සාමණේර භික්ෂුවක් අනුගමනය කළ යුතු චර්යාවන් පිළිබඳව අවබෝධයක් ලබා දෙයි. ඒ පන්සලේ භික්ෂූන් වහන්සේ ඇසුරේ තවදුරටත් ගිහියෙකු වශයෙන් සිටියදීය.
ඒ කාලයේදී විශේෂයෙන් බණ දහම් පොත අධ්‍යයනය කිරීමට ලැබෙයි. ඒ ගිහි ජීවිතයේ සිටියදීම ආගමික ශික්ෂණය ඇති කිරීමටයි.මේ පොතේ සඳහන් වන්නේ සාමණේර නමක් හිමිදිරියේ අවදිවීමේ සිට රාත්‍රියේ නින්දට යන තුරු ගත කරන ආකාරය සම්බන්ධවයි.
මේ කාලය තුළ තමා නිශ්චිතවම පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවාද නැද්ද යන තිරණයට එළැඹීමේ අවස්ථාවද හිමි වෙයි. පැවිදි වීමට පැමිණෙන බොහෝදෙනෙකු වසර කිහිපයක් මේ ආකාරයට සිටින විට එම අදහස අත් හරින අවස්ථාද ඇත. ගිහියෙකුව සිටියදී ‘සබ්බ දුක්ඛ නිස්සරණ’ ලෙස පැවසීමෙන් අනතුරුව පැවිදි කිරීම පවතින සම්ප්රදායයි. එනම් ‘සසර දුකින් අත් මිදීම පිණිස මාව පැවිදි කරන්න’ යන ඉල්ලීම කළ පසු පැවිදි කෙරේ.
සනත් ගුණතිලක මහතා තාවකාලිකව පැවිදි වීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වූයේ තමන් තාවකාලිකව පැවිදි වන්නේ ඉදිරියේ රූපගත කිරීමට නියමිත චිත්‍රපටයක භික්ෂු චරිතයක් සඳහා පැවිදි ජීවිතයේ අත්දැකීම් ලබා ගැනීමේ අදහස ද ඇතිව යැයි පැවැසීම නිසයි. මේ නිසා ශාසනික සදාචාරය හෑල්ලුවටත්, විහිළුවටත් ලක්කර ඇතැයි භික්ෂූන් වහන්සේ චෝදනා කරති.
අධ්‍යාත්මික සුවය සඳහා පැවිදි වෙනවා වෙනුවට චිත්‍රපටයකට අත්දැකීම් ලබා ගන්නට පැවිදි වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ගුණ ධර්ම පිරූ කෙනෙකුට සිවුරු හැරීමට නොහැකි බවත් පෙන්වා දෙන හෑගොඩ විපස්සී හිමියන් අවධාරණය කළේ, සතියක කාලයක් තුළ පැවිදි දිවියක වටිනාකම අවබෝධ කර ගත නොහැකි බවයි.
ප්‍රසිද්ධ චරිත මෙවැනි දෙයට යොමු වී, මා මාධ්‍ය හරහා ඊට ප්‍රසිද්ධිය ලබාදීමෙන් සිදුවන්නේ ශාසනික පරිහානියක් බවද උන්වහන්සේ පෙන්වා දෙති.
එසේම ඓතිහාසික උරුමයට හා පසුබිමට සමගාමීව වත්පිළිවෙත් නොකිරීම ශාසනික පරිහානියේ ලක්ෂණයක් හෙයින් මෙවැනි සිදුවිම් වාර්තා වන අවස්ථාවේදීම මහානායක හිමිවරුන් මේවා ඛණ්ඩනය කර නිවැරදි කළ යුතුව ඇති බවද විපස්සී හිමියෝ පෙන්වා දෙති.
සනත් ගුණතිලක මහතාගේ පැවිදි වීම ‘රාවණා බලය’ සංවිධානය දැඩිව විවේචනය කළේය.
එහි කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසන්නේ ශාසනික සම්ප්‍රදායට අනුව මහණ වීමෙන් පසු චිත්‍රපටයක පෙරහුරුවක් සඳහා මහණ වුවායැයි පැවැසීම තුළ, තමන්ට මහණ දිවියට ඇතුළත් වීමට මග පෙන්වූ හිමියන් ද රවටා ඇති බවයි.
ශාසනය යනු පෙරහුරු කරන තැනක් නොවන නිසා මේ බව පළමුව කිව්වා නම් සනත් ගුණතිලක මහතා පැවිදි දිවියට ඇතුළත් කළ ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙම මහණ කිරීමේ පිංකම නොකරනු ඇති බවද උන් වහන්සේ පවසති.
ශාසනයට ඇතුළු වීමෙන් අනතුරුව ශාසනික සම්ප්‍රදායට ගරු කළ යුතුව ඇතැයිද, ඉන් අනතුරුව හිතුමනාපේ කටයුතු නොකළ යුතු බවද පෙන්වා දෙන උන්වහන්සේ සනත් ගුණතිලක මහතාට වැරදීමකින් හෝ මිනීමරුවකුගේ චරිතයක් සඳහා ඇරයුම් නොකිරීමට වගබලා ගත යුතු බව ද පෙන්වා දෙති.
සනත් ගුණතිලක මහතාගේ මහණ පිංකම සිදුකළේ මෙරට සුප්‍රකට, කීර්තිමත් හිමිනමක් වන ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. උන්වහන්සේගෙන්ද මේ පිළිබඳ අදහස් දැනගැනීමට අප උත්සාහ කළ නමුත් උන්වහන්සේ අදහස් දැක්වීමෙන් වැළකී සිටීමේ ප්‍රතිපත්තිමය තින්දුවකට එළැඹ සිටින බව පැවැසූහ.
පැවිදි දිවියේ ගත කරන කාලය තුළ මාධ්‍යයට අදහස් පළකිරීමට අදහස් නොකරන හඟුරන්කෙත විමලරතන හිමියන් පැවිදි දිවිය අවසන් කිරීමෙන් පසු චිත්‍රපටය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන බව පැවිදි වීමට පෙර පවසා තිබිණි.
-ලක්බිම-