වලංගු බලපත්‍රයක් නොමැතිව හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී කෝවිලෙහි බිලි පූජා සඳහා සිදු කරන සත්ත්ව ඝාතන වැළැක්වීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට නියෝග කරමින් අභියාචනාධිකරණය ඊයේ (29) මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කළේය.
එවැනි සත්ත්ව ඝාතන වැළැක්වීමට නීතියට අනුකූලව පියවර ගැනීම සඳහා පොලිසියට බලය ඇති බවටද අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.නීතිමය බලපත්‍රයක් ලබා නොගෙන එම කෝවිලෙහි බිලි පූජා පැවැත්වීමෙන් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලෙහි ප්‍රධාන පූජකවරයා ඇතුළු වෙනත් පූජකවරුන් සත්ත්ව ඝාතන පනත (ගෝ ඝාතක පනත) සහ සත්ත්ව හිංසා පනත උල්ලංඝනය කර ඇතැයි අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
එම කෝවිලෙහි බිලි පූජා පැවැත්වීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාග කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය මේ බව තීරණය කළේය.සිසිර ද ආබෲ, දීපාලි විජේසුන්දර, සුනිල් රාජපක්ෂ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම පෙත්සම විභාග කර තීන්දුව ප්‍රකාශ කරන ලදී. ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම, ජාතික සංඝ සම්මේලනය, ශ්‍රී ධර්මවිජය පදනම, සත්ත්ව සුබසාධන භාරයෙහි සභාපතිනී අයිරාංගනී ද සිල්වා මහත්මිය ඇතුළු පෙත්සම්කරුවන් 14 දෙනකු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
පොලිස්පතිවරයා, පුත්තලම් ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, හලාවත පොලිස් ස්ථානාධිපතිවරයා, භද්‍රකාලී කෝවිලෙහි ප්‍රධාන පූජක එම්. කනගරත්නම්, කේ. ශිවපාක්යසුන්දරම් සහ මුණියන්ඩිසාමි යන පුජකවරු ද පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.
හලාවත මුන්නේශ්වරන් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලෙහි බිලි පූජා පැවැත්වීමට එරෙහිව විශාල විරෝධයක් ඇති විය. එම සත්ත්ව ඝාතන වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ මෙම පෙත්සම දීර්ඝ කාලයක් අභියාචනාධිකරණයෙහි විභාග විය.
ඒ පිළිබඳව සිය තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය සඳහන් කර ඇත්තේ බිලි පූජා පැවැත්වීමට සත්ත්ව ඝාතනය කිරීම සඳහා සත්ත්ව ඝාතන පනත සහ සත්ත්ව හිංසා පනත යටතේ වලංගු බලපත්‍රයක් ලබාගත යුතු නමුත් මෙම කෝවිල ඒ සඳහා වසර කිහිපයක් තිස්සේම බලපත්‍ර ලබාගෙන නැති බවය.
එසේ නමුත් බිලි පූජා සඳහා සත්ත්ව ඝාතනය කළ බව එම කෝවිලෙහි පූජකවරුන් විසින් පිළිගෙන තිබේ. ඉදිරියේදී එවැන්නක් නොවන බවට සහතිකයක්ද නැත.
මෙම පනත්වලට අනුකූලව කටයුතු නොකරන ඒවා උල්ලංඝනය වන පරිදි සතුන් ඝාතනය කිරීම සත්ත්ව ඝාතන පනතෙහි 17 (I) අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.
එබැවින් එවැනි කටයුතු වැළැක්වීමට පොලිසිය පියවර ගත යුතු යැයිද ඒ සඳහා වන බලය පොලිසිය සතු බවද අභියාචනාධිකරණ තීන්දුවෙහි සඳහන් වේ. ඒ අනුව එම සත්ත්ව ඝාතන වැළැක්වීමට පියවර ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියෝග කර තිබේ.
ජනාධිපති නීතිඥ ඩී.ආර්.ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
ජනාධිපති නීතිඥ ඒ. ආර්. සුරේන්ද්‍රන් මහතා කෝවිලෙහි පූජකවරුන් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරින්ද රණසිංහ මහතා නීතිපතිවරයා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියේය.