මැදපෙරදිග තවත් කඳුළු කතාවක්‌ - - සෞදි රැකියාවට ගොස්‌ පැමිණි සිරියාවතී කියයි

"කොස්ස කැඩෙනකම් ගැහුවා රත්වෙච්ච ඇණයකින් පිච්චුවා"
මම පදිංචි වෙලා ඉන්නේ බෙලිගමුවේ වල්පොලගම වත්තේ. සැමියා ලංගම රියැදුරකුව සිට විශ්‍රාම ගිහින්. අපට වයස අවුරුදු 13, 12 හා 4ක් වයසැති දියණියන්ම තිදෙනෙක් ඉන්නවා. අපට වෙන ආදායම් මාර්ගයක් නෑ. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ ඇතිව කුරුණෑගල ප්‍රසිද්ධ විදේශ රැකියා ඒජන්සියකින් මම සෞදි රට බලා පසුගිය 2012 මාර්තු 12 වැනි දින පිටව ගියා. මාව ඒජන්සියට යොමු කළේ බෙලිගමුව ලියනපහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. නමුත් රට යෑම වෙනුවෙන් දුන් රුපියල් ලක්‍ෂයවත් ඔහු දුන්නේ නෑ. රු. 80,000යි දුන්නේ. ඒකත් ටිකෙන් ටික.

සුළු වැරැදීමකට පවා සාරා නමැති ගැහැනිය මට පහර දුන්නා. දවසක් ඇය මට කොස්සක් කැඩෙනකන් පහර දුන්නා. අනන්තවත් පයින් පහරදීලා තිබෙනවා. දවසක් ඇය මට ගහලා වැටුණට පස්සේ අඬ අඬා ඉන්නකොට යකඩ ඇණයක් රත්කරලා බඩේ තැන් හයක තියල පිච්චුවා. සිදුවූ තුවාලවලටවත් ප්‍රතිකාර අරන් දුන්නේ නෑ. මට ඇය දුන් වධ හිංසා නිසා මගේ දකුණු අතේ ගෙඩියක් ආවා. 

දැන් එතැන අල්ලනවිට හිරිවැටෙනවා. වාඩිවෙලා නැඟිටිනකොට කොන්දේ කැක්කුමක් එනවා. බොහොම අමාරුවෙන් නැඟිටින්නේ. මට ගෙදරින් කෝල් එකක් ආවත් කතා කරන්න දෙන්නේ නෑ. දිනපතා රෑ නිදාගන්න කොට රාත්‍රි එක, දෙක වෙනවා. නැවැත උදේ 6ට ඇහැරිලා උයන්න ඕනෑ. අවුරුදු එකහමාරක්ම ජීවත් වුණේ ඔය විදියටයි.


මම එනවිට ටිකට් එක පමණයි අරන් දුන්නේ. මාස අටක වැටුප් දුන්නේ නෑ. මම ගෙදර ආවේ හිස් අතින්. දරුවන්ට දුක හිතෙන නිසා කෙනකුගෙන් අතමාරුවට සල්ලි ටිකක් ඉල්ලගෙන ඇඳුම් ටිකක් ගෙනැවිත් දුන්නා. මා වැඩ කළ ස්ථානයේ ලිපිනය දන්නේ නෑ. මට වධ දුන් කාන්තාවගේ දුරකතන අංකය, මාව අසනීප වී ගත් ප්‍රතිකාරවලට නිකුත් කළ වෛද්‍ය සහතිකත්, රක්‍ෂණ ලියැවිලි ආදියත් ඇය තියාගත්තා.

මේ ගැන පැමිණිලි කරන්න සල්ලි ටිකක් හොයාගෙන කොළඹ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට යන්නට හිතාගෙන ඉන්නේ. මගේ මාස අටක හිඟ වැටුප හා ලියකියැවිලි ලබාදෙන ලෙසටයි ඉල්ලා සිටින්නේ. නැවැතත් පඩියට රත්රන් දෙනවා කියලා කීවත් මම රට රැකියාවකට නම් යන්නේ නෑ. ලංකාවේ වතුර ටිකක් බීල මැරුණත් සැපයි යැයි හඬමින් පැවැසුවේ ගලේවෙල බෙලිගමුව වල්පොල වත්තේ පදිංචි කේ. ජී. සිරියාවතී (32) නමැති තිදරු මවයි.

දහසකුත් එකක් ප්‍රාර්ථනා මැද ඉසුරුවන් හෙට දිනයකට බලාපොරොත්තු තබාගෙන සෞදි රටට ගිය සිරියාවතී මහත්මිය අද රෝගියකු බවට පත්වී සිටී. අතේ සතේ නැතිව නිවෙසට පැමිණ ඇති ඇය දරු තිදෙනා හා සැමියා සමඟ අන්ත අසරණ වී සිටී. පාසල් වියේ පසුවන දියණියන් දෙදෙනාත් පෙර පාසල් වියේ පසුවන දියණියත්, සැමියාත් මානසික පීඩනයට පත්ව සිටිති.

Gossip Lanka Hot News Previous News Archive