ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම හා ප්රබලතම ජනතා නියෝජිතවරයා ලෙස වැලිවේරියේ රතුපස්වල අර්බුදය විසඳීම සඳහා ඔබ ප්‍රමාණවත් ලෙස මැදිහත් නොවුණු බවට විශාල චෝදනාවක් එල්ලවනවා.
ගම්පහ ප්‍රදේශයේ පවුල් ආරවුලක් ඇතිවුණත් සාමාන්‍යයෙන් අපට දුක්ගැනවිලි ලැබෙනවා. නමුත් මේ ගැටලුව පිළිබඳව, කිසිදු පැමිණිල්ලක් හෝ දුක්ගැනවිල්ලක් මට ලැබුණේ නැහැ. මුලින්ම මට මෙම ගැටලුව පිළිබඳව දැනගන්නට ලැබුණේ ලසන්ත අලගියවන්න මහතා හරහායි. ඒ පසුගිය ජූලි මාසයේදීයි. කෙසේ වෙතත් මෙම ගැටලුව පිළිබඳව දැනගත් වහාම ඊට අදාළ පියවරයන් අප දියත් කළා.මෙවැනි පාරිසරික ගැටලුවකදී වගකීම් පැවැරෙන ආයතන වන්නේ පරිසර අධිකාරිය, ආයෝජන මණ්ඩලයේ පරිසර අංශය, පොලීසියයි. එම ආයතන තුනටම අප මේ පිළිබඳව දැනුම් දුන්නා. එම ආයතනද එහිදී වහා ක්‍රියාත්මක වුණා. පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. උසාවියටද දැනුම් දුන්නා. අදාළ සියලු කටයුතු නිවැරදිව ක්‍රියාත්මක වුණා.
දැනටමත් මෙම කර්මාන්තශාලාව සම්බන්ධ පරීක්ෂණ දියත් වෙනවා. ඒ අනුව නීත්‍යනුකූල ලෙස, හැකි උපරිමයෙන් මෙම පාරිසරික ගැටලුවට මැදිහත්වී එයට විසඳුම් ලබාදීමට මා පියවර ගත් බව ප්‍රකාශ කළ යුතුයි.
උද්ඝෝෂණය සිදු වූ අවස්ථාවට සහභාගි නොවීම ගැනත් සමහරු ප්‍රශ්න කරනවා. එම අවස්ථාවට නම් මා සහභාගි නොවූයේ, එවැනි උද්ඝෝෂණ වලට මැදිවීමට මා අකමැති නිසයි. ඇත්තෙන්ම මෙවැනි උද්ඝෝෂණවලට මැදිහත්වීමට මා බියකුත් දක්වනවා. ඒ මගේ චරිත ලක්ෂණයක්.
විවිධ චරිත ස්වභාවයන් තිබෙනවා. මෙවැනි තැන්වලට යන අයත් ඉන්නවා. එය වැරදි යැයි මා කියන්නේ නැහැ. නමුත් මට ඡන්දය දුන් ඡන්ද දායකයින් නම් මගෙන් එවැනි ක්‍රියා බලාපොරොත්තු නොවුණ බව මා දන්නවා.
මෙම ගැටලුවේදී රජය මෙන්ම ඔබත් මෙම කර්මාන්තශාලාව වෙනුවෙන් පෙනී සිටිමින්, එය රැක ගැනීමට උත්සාහ කළ බවටද ඇතැම් පිරිස් චෝදනා කරනවා.
එය සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. මෙවැනි කතා හැමදාමත් අපට එරෙහිව විවිධ පුද්ගලයින් විසින් පතුරවනවා. මෙම කම්හලේ අයිතිකරු මා වන බවටද අසත්‍ය ප්‍රචාර මේ දිනවල පැතිර යනවා. නමුත් ජනතාව සත්‍යය දන්නවා. මම මඩ ප්‍රචාර පසුපස එලවන්න යන්නේ නැහැ. මෙම කර්මාන්තශාලාව සමග මාගේ කිසිදු සම්බන්ධතාවයක් නැහැ. මෙම කර්මාන්තශාලාවේ කළමනාකාරීත්වය සමග මගේ කිසිදු මිත්‍ර සම්බන්ධයක් ද නැහැ මෙහි ප්‍රධානියකු වන ධම්මික පෙරේරා මහතාව මා හඳුනන්නෙ, ඔහු මෙරට රජයේ අමාත්‍යංශ නිලධාරියෙකු වන නිසයි. ඒ හැර වෙනත් සබඳතාවක් නැහැ.
කර්මාන්තශාලාව ආරක්ෂා කිරීමට අපට උවමනාවක් නැහැ. නීත්‍යනුකූලව මෙම පාරිසරික ගැටලුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ එම නිසයි.
යම් ලෙසකින් මෙම කර්මාන්ත ශාලාව ඉවත් කළ යුතු බවට නිර්දේශයක් පරීක්ෂණ අවසානයේ නිකුත් වුවහොත් කිසිදු පැකිලීමකින් තොරව එම නිර්දේශය ක්‍රියාත්මක කරනවා.
කෙසේ වුණත් අවසානයේ ජලය ඉල්ලා ජනතාව කළ උද්ඝෝෂණයකට පිළිතුරු ලැබුණේ උණ්ඩයෙන්?
මේ සිදුවීම ගැන මා අවංකව කනගාටු වෙනවා. මෙහිදී ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් සිදුවුණා. එය මා නොපැකිලිව පිළිගන්නවා. මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් මෙම උද්ඝෝෂණය අතරතුර සිදුවනු ඇති බව ඊට සහභාගි වූ පොලිස් හෝ හමුදා නිලධාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද බලාපොරොත්තු නොවූ බව මගේ විශ්වාසයයි.
සිද්ධිය සිදු වූ ආකාරය පිළිබඳව හා ඊට සම්බන්ධ විවිධ කරුණු පිළිබඳව මේ වන විට පරීක්ෂණ පැවැත්වෙනවා. එම නිසා ඒ පිළිබඳව පුළුල්ව අදහස් පළ කිරීමට අපට තවම හැකියාවක් හෝ දැනුමක් නැහැ. මානව හිමිකම් කොමිෂමෙන් මෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද මේ වන විට ක්‍රියාත්මකව පවතිනවා. හමුදාව හා පොලීසියත් එම ආයතන මට්ටමින් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කෙසේ හෝ වේවා අවසානයේ තිදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගියා. එය බරපතළ ඛිෙදවාචකයක් ලෙස මා සලකනවා. මෙම සිද්ධිය කුමනාකාරයෙන්වත් සිදු නොවිය යුතුව තිබූ දෙයක් ලෙස මා විශ්වාස කරනවා.
ඒ පිළිබඳව අප රජයක් ලෙස කනගාටු වෙනවා. සිද්ධියෙන් මියගිය අයගේ පවුල්වල ඥාතීන්ගෙන්ද තුවාල ලැබූ අයගෙන්ද මෙහිදී විවිධ අපහසුතාවන්ට ලක්වූ මාධ්‍යවේදීන්ගෙන්ද මා සමාව ඉල්ලා සිටිනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධව රජය වෙනුවෙන් මෙන්ම දිස්ත්‍රික්කය වෙනුවෙන්ද නැවත වරක් මා සමාව ඉල්ලා සිටිනවා.
නිරායුද සාමාන්‍ය ජනතාව සහභාගි වූ උද්ඝෝෂණයක් පාලනය කිරීමට ආරක්ෂක හමුදා යෙදවීම සාධාරණද?
ජනතාව සාමාන්‍ය උද්ඝෝෂණයක් ආරම්භ කළා. පසුව කිසියම් හේතුවක් මත එය සීමාව ඉක්මවා ගියා. ගම්පහ ප්‍රදේශයේ මෙවැනි සීමාව ඉක්මවා යාමේ සිද්ධි කිහිපයක්ම පසුගිය දිනවල ඇතිවුණා. කොකිස් කඩේ හන්දිය අසල රිය අනතුරක් සිදු වූ අවස්ථාවේ නුවර පාර අවහිර කර ප්‍රචණ්ඩකාරී විරෝධතාවක් ඇතිවුණා. මෙහිදී පොලිස් රථ වාහන රැසකට බරපතළ අලාභ හානි සිදුවුණා. පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටම තුවාල සිදුවුණා.
එසේම දුම්රියේ ගැටුන වයසක පුද්ගලයෙකු පිළිබඳ පරීක්ෂණ කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට හිරිහැර සිදුවුණා. දොම්පේ පොලීසිය පොළොවට සමතලා කර දැමුණා. කටුනායකත් පොලීිසිය හා උද්ඝෝෂකයින් අතර බරපතළ ගැටුම් ඇතිවුණා. පසුගියදා බටුවත්තේදීත් එවැනිම බරපතළ උද්ඝෝෂණයක් මතුවුණා. එම සිද්ධිය තව ටික දුරක් ඉදිරියට ඇදුනා නම් තවත් මරණයක් වන්නට තිබුණා.
මෙවැනි සිද්ධි රාශියක අත්දැකීම් හේතුවෙන්, ප්‍රදේශයේ විරෝධතා පාලනය කිරීමට යාම පිළිබඳව පොලීසියට යම් සැක සංකා මතුව තිබුණා. ඒ අනුව වැලිවේරියේ මෙම උද්ඝෝෂණය පාලනය කිරීම සඳහා ආරක්ෂක හමුදා කැඳවූවා වන්නට පුළුවනි.
කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂණ සිද්ධිය සම්බන්ධව විවිධ අදහස්, මතවාද මතුවනවා. මෙහිදී හමුදා අංශ පාර්ශ්වයෙන් සිදු වූ වැරදි සොයා බැලීමට විධිමත් පරීක්ෂණයක් දියත් වෙනවා. එසේම ජනතාව අතර සිටි ඉතාම සුළු පිරිසක් මෙතන අනවශ්‍ය ගැටුමක් ඇති කර, මහා කලබලයක් මතු කරලීමට උත්සාහ ගත් බවටද තොරතුරු වාර්තා වෙනවා. එම පිරිස් පෙට්‍රල් බෝම්බ පවා භාවිතා කරමින් ප්රචණ්ඩ ලෙස කටයුතු කිරීමට උත්සාහ ගත් බවට ද වාර්තා වෙනවා.
ජනතාව සාමකාමීව විරෝධතාව පටන් ගත්තද, ඒ අතර සිටි සංවිධානාත්මක පිරිස සීමාව ඉක්මවා යමින් කටයුතු කළා. ඔවුන් සැලසුම් සහගතව මෙම කටයුතු දියත් කළ බව පෙනුණා. කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට මා මෙහිදී චෝදනා කරන්නෙ නැහැ. සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ දියත්ව ඇති බැවින් එම පරීක්ෂණ අවසානයේ සිද්ධියට වගකිවයුත්තන් පිළිබඳ තොරතුරු හෙළිවේවි. එසේම, සිද්ධිය පිළිබඳ කෙරෙන පරීක්ෂණ අවසන් වනතුරු, කිසිවකුට සෘජු ඇඟිල්ල දිගුකරන්න බැහැ. පරීක්ෂණ වාර්තා සියල්ල නිකුත් වුණු පසු ඒවාට අනුව,කුමන තරාතිරමක සිටියත්, වරදකරුවන්ට දඬුවම් කරන බවට මා ජනතාව වෙත පොරොන්දු වනවා.
ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය දැනටමත් මේ සිද්ධිය සම්බන්ධව නිවේදන නිකුත් කර තිබෙනවා. වැලිවේරියේ සිද්ධිය අපට මානව හිමිකම් චෝදනා එල්ල කිරීමට සූදානමින් සිටින ජාත්‍යන්තර බලවේගවලට, උඩගෙඩි දීමක් නේද?
ඇත්තෙන්ම මෙම සිද්ධිය හේතුවෙන්, ජාත්‍යන්තර වශයෙන් යම් බලපෑම් ඇතිවන්නට පුළුවන්. මෙවැනි සිද්ධීන් රට තුළ ඇති කරලීමට ඇතැම් පිරිස් උත්සාහ දරන්නේද මෙම අරමුණින්ම විය හැකියි. මෙහිදී අප බොහෝ පරෙස්සමින් කටයුතු කළ යුතුයි.
එක්සත් ජාතීන්ගේ රට තුළ අනවශ්‍ය කලබල ඇතිකර ඒ හරහා ජාත්‍යන්තරයට වැරදි පණිවුඩයක් ලබා දීමට ඇතැම් රාජ්‍ය විරෝධී පිරිස් මේ මොහොතේ උත්සහගන්නවා. ඒ පිළිබඳව ජනතාව බුද්ධිමත්ව බැලිය යුතුයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතයි. මෙවැනි අවස්ථාවක, මෙවැනි අර්බුද රට තුළ ඇති කරලීමට විවිධ කුමන්ත්රණකාරීන් උත්සහ දරනවා විය හැකියි. මෙවැනි කුමන්ත්රණකාරීන්ගේ අසත්‍ය ප්‍රචාර හා උසිගැන්වීම්වලට නොරැවටී බුද්ධිමත්ව රට ගැන සිතා කටයුතු කරන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ගම්පහ පමණක් නොව සමස්තයක් ලෙස රටම අද සංවර්ධනය වෙත ඉතා පැහැදිලි හා වේගවත් ගමනක් ආරම්භ කර තිබෙනවා. නව වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිවනවා. මේ ගමන නැවැත්වීමට රටට සතුරු බලවේග විවිධ උත්සාහයන් ගන්නවා. රටට හිතැති සියලුදෙනා මේ පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුයි.
වැලිවේරිය ඛිෙදවාචකයට මුල්වූයේ ජල ප්රශ්නයයි. මෙම ගැටලුවට ඉදිරියේදී කුමන ආකාරයේ විසඳුමක් ජනතාවට ලැබේවිද?
මෑතක් වන තුරුම ගම්පහට නළ ජලය තිබුණේ නැහැ. මේ තත්ත්වය නිසා ජල ප්රශ්නය උග්‍ර ලෙස ජනතාවට දැනුණා. අප ඉතා කෙටිකලක් ඇතුළත එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කළා. පසුගිය ජූලි මස ජනාධිපතිවරයා විවෘත කළ බියගම ජල පවිත්‍රාගාරය හරහා පමණක් ජල ලීටර දසලක්ෂ එකසිය අසූවක් පිරිසිදු කර, දසලක්ෂයකට අධික ජනතාවකට ජලය සැපයෙනවා.
බියගම,කැලණිය ප්‍රදේශවලට සියයට සියයක් නළ ජලය ලබා දී තිබෙනවා. මීගමුව ජල යෝජනා ක්‍රමය ආරම්භකර තිබෙනවා.
ජනාධිපතිවරයා පසුගියදා චීනය සමග ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනුව මතෛක් ජල නළ ව්‍යාපෘති අඩු වශයෙන් ක්‍රියාත්මකවූ අත්තනගල්ල හා මිනුවන්ගොඩ ප්රදේශවලටද එම පහසුකම් සියයට සියයක් සැපයෙනවා. එසේම ගම්පහ තවත් ග්‍රාමසේවා වසම් 32 කට මේ හරහා ජලය සැපයෙනවා.
වැලිවේරිය ඇතුළු වත්මන් අර්බුදයට මුල්වූ ප්රදේශවලද ජල යෝජනා ක්‍රම රැසක් අප ආරම්භ කර තිබෙනවා. මෙම, ප්‍රදේශවල පවුල් 500කට දැනටමත් නළ ජලය ලබා දී තිබෙනවා. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර අවසන් වූ විට වැලිවේරියේ පමණක් නොව ඊට ආසන්න ප්රදේශවලද ජල ප්‍රශ්නයට පූර්ණ විසඳුම් ලැබෙනු ඇති බව අවධාරණය කළ යුතුයි.
ඉදිරි වසර තුන ඇතුළත, සමස්ත ගම්පහ දිස්ත්‍රික්කය තුළම සියයට සියයක් ජල නළ ව්‍යාපෘති ක්‍රියාත්මක කර, දිස්ත්‍රික්කයේ ජල ප්රශ්නය සම්පූර්ණයෙන්ම විසඳාලීමට අප සැලසුම් කර අවසානයි.
එසේම ප්‍රදේශයේ භූගත ජලයේ යෝග්‍යතාව හා ආම්ලිකතාව පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉදිරියේදී ඊට අවශ්‍ය පියවර ගන්නාබව පැවසිය යුතුයි. එසේම ඒ පිළිබඳව ජනතාව නිසිලෙස දැනුවත් කරලීමටද අප පියවර ගන්නවා. ගම්පහ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන අතරම එය පරිසර හිතකාමී දිස්ත්‍රික්කයක් බවට පත් කරලීමටද මා පියවර ගෙන තිබෙනවා. ජලය හෝ වාතය හෝ දූෂණය වූ සංවර්ධනයකින් ඵලක් නොවන බව මා අවබෝධ කරගෙන සිටිනවා . එම අවබෝධයට අනුවයි මා කටයුතු කරන්නේ.