කඳුරට අතහැර කුමාර් සංගක්කාර සන්රයිසස් හයිද්‍රාබාද් පිලට - චැප්පියන්ස් ලීග්

ඉන්දියාවේදී ලබන සැප්තැම්බර් මස 17 වැනිදා ආරම්භ වන පස්වැනි ‘චැප්පියන්ස් ලීග්’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඔහුගේ දේශිය පිල වන කඳුරට මෙරූන්ස් පිල අතහැර සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියෝජනය කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මේ පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නිල වශයෙන් ඒ පිළිබඳව දැනුම්දී නොමැති බවයි. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වැඩ බලන ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ මේ පිළිබඳව තීරණයක් ගැනීමට අද (22) පස්වරුවේ විධායක කමිටුව රැස්වන බවයි.
 ‘‘සංගක්කාරට කණ්ඩයම් දෙකකට ක‍්‍රීඩා කරන්න පුළුවන්, නමුත් සංගක්කාර මේ දක්වා මේ කණ්ඩායමට ක‍්‍රීඩා කරන්න අවශ්‍ය යැයි අපෙන් ඉල්ලීමක් කර නෑ. ඒ පිළිබඳ අවසන් තීරණය තිබෙන්නේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සතුවයි’’ යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය. ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේදී (අයි. පී. එල්.) කුමාර් සංගක්කාර, සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළේය. කෙසේ වෙතත් එහි තරග රැුසකදී සංගක්කාරට කණ්ඩායමේ ස්ථානය ද අහිමිවිය. ටෙස්ට් ක‍්‍රීඩා කරන රටවල ප‍්‍රධානතම විස්සයි20 දේශිය තරගාවලියේ ඉදිරියෙන් සිටින කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ‘චැප්පියන්ස් ලීග්’ තරගාවලිය පැවැත්වේ. මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර් පළාත් විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනූ කඳුරට මෙරූන්ස් පිල සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වේ. පළාත් තරගාවලියේදී සංගක්කාර කඳුරට පිල නියෝජනය කළේය.  ඉන්දියාව නියෝජනය කරමින් ‘චැප්පියන්ස් ලීග්’ තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන අතර චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියනස් සහ රාජස්තාන් රෝයල්ස් යන කණ්ඩායම් ප‍්‍රධාන තරගාවලියට මේ වන විටත් සුදුසුකම් ලබා සිටියි. 

Gossip Lanka Hot News Previous News Archive