පැහැරගත්ත ටයිම් කීපර් කඩුවෙල දමා යයි

"සුදු වෑන් එකක ඇවිත් මාව පැහැරගත්ත අය මගේ ඇස්‌ දෙක බැඳලා මට හොඳටම පහර දුන්නා. බස්‌වලින් කප්පම් ගන්නවද කියලා මගෙන් ප්‍රශ්න කර කර මට වධ දුන්නා. ආයෙ බස්‌වලින් කප්පම් ගත්තොත් මරලා දානවා කියලා තර්ජනය කරලා ඊයේ (06 වැනිදා) පාන්දර මාව කඩුවෙල පැත්තෙ වෙලකට තල්ලු කරලා යන්න ගියා" යෑයි පැහැරගැනීමට ලක්‌ව දිවි ගලවාගත් පිටකොටුව බස්‌ නැවතුම්පළේ වේලා සටහන්කරු පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇත.

පැහැර ගැනීමට ලක්‌වූ ගාමිණී මහතා මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ගැනීමෙන් පසු ඊයේ පෙරවරුවේ සිය නිවසට ගොස්‌ තිබේ.පෙරේදා දහවල් 12.00 ට පමණ ගාමිණී මහතා පිටකොටුව ගුණසිංහපුර බස්‌ නැවතුම්පළේ රාජකාරි කරමින් සිටියදී නාඳුනන පිරිසක්‌ පැමිණ ඔහු පැහැර ගන්නා ලදී.

පසුව ඔහුගේ දැස්‌ බැඳ ඇති නාඳුනන කණ්‌ඩායම ඔහුට පහර දෙමින් බස්‌ රථවලින් කප්පම් මුදල් ගන්නවාදැයි විමසා ඇත. බස්‌වලින් කප්පම් ගන්නා වෙනත් පුද්ගලයන් පිළිබඳව ද ඔහුගෙන් මෙම පිරිස විමසා තිබේ.පසුව ඊයේ අලුයම මෙම නාඳුනන පිරිස ගාමිණී මහතා කඩුවෙල ප්‍රදේශයේ වෙල්යායක්‌ අසලදී මුදාහැර පලාගොස්‌ ඇත.


මෙම පැහැර ගැනීම කවුරුන් විසින් සිදුකළේද යන්න මෙතෙක්‌ හෙළි වී නැත.

පිටකොටුව සහකාර පොලිස්‌ අධිකාරි ජයරත්න මනම්පේරි මහතාගේ උපදෙස්‌ මත වේල්ලවීදිය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Gossip Lanka Hot News Previous News Archive