කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය තවත් මිනීමරුවෙකුට මරණ දඬුවම නියම කළාය. ඒ ඇය විසින් විභාග කෙරුණු නඩුවක තීන්දුවක් ඉකුත් 06 වෙනිදා ප්‍රකාශයට පත්කරමිනි. මෙම නඩු තීන්දුව දෙනු ලබන්නේ් සිය බිරිඳට වල්නාශකයක් එන්නත් කර මරා දැමූ සැමියෙකුට එරෙහිවය.
ඔහු දැරණියගල කොස්වත්ත අංහෙට්ටිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සරත් විමලසිරිය. වෘත්තියෙන් පෙදරේරුවෙකු වූ ඔහු සිය බිරිඳට විෂ සහිත වල්නාශකයක් එන්නත් කර මරා දමන්නේ ඇගේ අතපය ගැටගසා ඉන් අනතුරුවය. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් වූ එම ඝාතනය සිදු කළායැයි කියැවෙන්නේ 2004 වසරේ දෙසැම්බර් 27 වෙනිදාය.
ඇගේ නම මාලනීය. දරුවන් තිදෙනකුගේ මවක වන ඇය වසර කිහිපයක්ම සිටියේ මැදපෙරදිග රටකය. ඒ සැමියා පෙදරේරු රැකියාවෙන් උපයන සොච්චම් මුදල දරු තිදෙනා ජීවත්කරන්නට ප්‍රමාණවත් නොවූ බැවිනි.
ඒ කාලය තුළ විමලසිරි සිය බිරිඳ නැති අඩුව පිරිමසාගත්තේ යැයි සඳහන් වන්නේ වතු කාන්තාවකගෙනි. බිරිඳ රට රැකියාවට සමුදී පැමිණි පසුවද මෙම අනියම් බිරිඳගෙන් ගැලවෙන්නට විමලසිරිට ඉඩක් නොවීය. විමලසිරිගේත්, මාලනීගේත් පවුලේ සාමය බිඳ වැටෙන්නේ ඒත් සමගිනි.
ඒ වන විට රැකියාවක නිරතව සිට පවුලේ වැඩිමහල් දරුවා මෙහිදී තීරණය කරනුයේ සිය මව සමග පියාගෙන් වෙන්ව ජීවත් වන්නටය. ඒ සඳහා ඔහු කුලියට නිවසක් ගෙන මවද කැටුව එහි ගියේය. ඒ දැරණියගලින් පිට ප්‍රදේශයකටය. සෙසු දරුවන් දෙදෙනාට මව ළඟට යන්නට පියාගෙන් ඉඩක් නොවීය. ඒ නිසා ඒ දරුවන් දෙදෙනාට සිදුවන්නේ පියා ළඟම සිටින්නටය.
එදා 2004 දෙසැම්බර් 27 වෙනිදා මාලනී දැරණියගල තමා විසූ නිවසට එන්නේ දරුවන් දෙදෙනාගේ දුක සැප සොයා බලන්නටය. දරුවන් ඒවන විට නිවසේ සිට නැත. ඒ වෙනුවට ඇයට මුණ ගැසෙන්නේ සැමියාවය. දෙදෙනා ඒ වන විට සිටින්නේ නයි මුගටි වෛරයකිනි. දෙන්නට දෙන්නා එහිදී බැණ ගන්නේ එබැවිනි. මෙම බහින්බස් වීම දිග්ගැස්සෙන්නේ විමලසිරි ඇගේ කෙස්වල්ලෙන් අල්ලා ඇයට පහර කිහිපයක් දී ගෙල මිරිකීමත් සමගිනි. ගෙල මිරිකීම නිසා අඩපණ වන ඇයගේ දෑත් දෙපා ගැට ගසන ඔහු ඇයව නිවසේ කාමරයක සිරකරන්නේ නිරුවත් කොටය.
පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව විමලසිරි විසින් ඇයගේ සිරුරට විෂ සහිත වල්නාශක එන්නත් කරනු ලබන්නේ ඊට පසුවය. ඒ ඇයව කාමරයේ ඇඳ මත දමා කඩමණ්ඩියට ගොස් රුපියල් දහයකට සිරින්ජරයක් රැගෙනවිත්ය.
සිරින්ජරයට පුරවා ගත් ඒ වල්නාශකය ඔහු එන්නත් කර ඇත්තේ මාලනීගේ දකුණු පාදයේ කලවා ප්‍රදේශයටය. ඒ ඇය ඔහුට බැගෑපත්වෙමින් එසේ කරන්නට එපායැයි හඬා වැටෙන අතරතුරය.
එසේ ඇයට වල්නාශක එන්නත් කළ ඔහු නැවතත් නිවසේ දොරගුළු වසා දමා පිටව යන්නේ ඇයව මැරෙන්නට දමාය.
එකල දස හැවිරිදි වියේ පසුවූ ඇගේ බාල පුතු සීයා සමගින් නිවසට එන්නේ ඒ අතරතුරදීය. ඒ වන විට විමලසිරි සිටින්නේ නිවසේ පිටුපසය. නිවසට පැමිණි බාල පුතු විපරම්කරන්නට වූයේ තමුන්ගේ සුවදුක් බලන්නට අම්මා පැමිණ සිටින බවට ලද තොරතුරකට අනුවය. එහෙත් මව පෙනෙන්නට නොවූවාය. ඒ වෙනුවට වසා දැමුණු කාමරයෙන් සිහින් කෙඳිරිල්ලක් ඇසෙන්නට විය. ඒ නිසාම ඔහු කාමරයේ ජනේලයෙන් එබි බැලුවේය. මවට වී ඇති විපත දැක දෑස් අදහාගත නොහැකිව ඔහු ගල් ගැසී මඳ වේලාවක් සිටියේය.
“පුතේ තාත්තා මට මෙන්න මේකෙන් මොනවද මෙතන්ට විද්දා” ඇය සිරින්ජරය පෙන්වමින් පවසන්නට වූයේ කොළපැහැ ගැන්වී තිබුණු තම කලවා ප්‍රදේශයද බාල පුතාට පෙන්වමිනි.
ඒත් සමගම ඔහු මුළු ගමටම ඇසෙන්නට කෑ ගැසුවේය. උදව් ඉල්ලුවේය. ඇයව කඩිනමින් රෝහලට රැගෙන ගියේය.
මේ ගැන දැරණියගල පොලීසියේ පැමිණිල්ලක් සටහන් වන්නේ ඇගේ බාලපුතුගේ ප්‍රකාශයක් ලෙසිනි. ඒ අනුව දැරණියගල පොලීසියේ එවකට සේවය කළ උප පොලිස් පරීක්ෂක පාලිත කමලදේව මහතා ඇතුළු නිලධාරීන් අංහෙට්ටි ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් විමලසිරිව අත්අඩංගුවට ගත් අතර ඇයට එන්නත් කළ වල් නාශකය සොයාගන්නේ එන්නත් කටුද සමගිනි.
රෝහල් ගත කෙරුණු මාලනීගේ තත්ත්වය ඒ වන විට පැවතියේ යහපත් මට්ටමකිනි. ඒ නිසාම රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු විමලසිරිට ඇපද ලැබුණේය.
තත්ත්වය බරපතළ වන්නේ සුවය ලබා රෝහලන් පිටව පැමිණි මාලනී සතියකින් පසු නැවත අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙනි. අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කෙරෙන ඇය 2005 වසරේ ජනවාරි 12 වෙනිදා මියැදෙන්නේ එදා ඇයගේ ශරීරයට එන්නත් කෙරුණු වල්නාශක විෂවීම හේතුකොටගෙනය. ඒ අනුව නැවතත් විමලසිරිව අත්අඩංගුවට ගන්නා පොලීසිය ඔහුව රුවන්වැල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ බිරිඳට වල් නාශක එන්නත්කර මරා දැමීමේ චෝදනාවටය. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කෑගල්ල මහාධිකරණයේ ඔහුට එරෙහිව චෝදනා ගොනුකරන්නේ රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ලඝු නොවන නඩු විභාගකින් අනතුරුවය.
මේනකා විජේසුන්දර විනිසුරුවරිය ඉදිරියේ නඩුව විභායට ගැනෙන්නේ ඉකුත් 15 වෙනිදාය. එතැන් සිට එක දිගටම නඩුව විභාගයට ගන්නට තීරණය කරන විනිසුරුවරිය දින අටක් තිස්සේ විභාග කෙරුණු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන්නේ 06 වෙනිදාය. ඒ මියගිය මාලනීගේ දරුවන්, පොලිස් විමර්ශන නිලධාරීන්, ඇය මිය යන්නට පෙර පරීක්ෂා කළ අවිස්සාවේල්ල රෝහලේ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, අධිකරණ වෛද්‍ය කේ.කේ. සුසන් ඇතුළු සාක්ෂිකරුවන්ගෙන් ලද සාක්ෂි සහ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාද සැලකිල්ලට ගෙනය.
ගයාන් කුමාර වීරසිංහ