හාල්මැස්සෝ ටික අහු වුණාට තෝරු, මෝරු තවම නිදැල්ලේ
වැරැදි කිරීම මනුස්ස ගතියක්, සමාව දීම දේව ගතියක්’ කියලා කතාවක් තිබුණට සමහරු කරන වැරැදිවලට දෙවියන්ගෙන්වත් සමාවක් ලැබෙන්නේ නැහැ.‘අපරාධය සහ දඬුවම’ කියන්නේ එකම කාසියක දෙපැත්ත වගෙයි. කළ වරදට නිසි දඬුවම කවදා, කොතැනක හෝ ලැබෙනවාමයි.
වැරැදි කිරීම මනුස්ස ගතියක්, සමාව දීම දේව ගතියක්’ කියලා කතාවක් තිබුණට සමහරු කරන වැරැදිවලට දෙවියන්ගෙන්වත් සමාවක් ලැබෙන්නේ නැහැ.‘අපරාධය සහ දඬුවම’ කියන්නේ එකම කාසියක දෙපැත්ත වගෙයි. කළ වරදට නිසි දඬුවම කවදා, කොතැනක හෝ ලැබෙනවාමයි.
රූකාන්ත – චන්ද්‍රලේඛා අපේ ජනප්‍රිය ගායක, ගායිකා යුවළට හරියටම මීට වසර දහතුනකට කලින් අත්වුණ ‘ඛේදනීය ඉරණම’ ගැන නොදන්න කෙනෙක් මේ රටේ නැති තරම්.එදා මේ දෙදෙනා, තමන්ගේම දියණියන් ඉදිරියේ මානසිකවත්, කායිකවත් ‘හිංසනයට’ ලක්කළ ඒ නරුමයන්ට අද නීතියෙන් දැඩි දඬුවම් ලැබිලා. නීතිය, සාමය වගේම මනුෂ්‍යත්වය ගරු කරන කොයි කවුරුත් ඒ පුවතින් සැනසුම් සුසුමක් හෙළූ බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.
රූකාන්ත – චන්ද්‍රලේඛා, දැන් මා ඉදිරියේ අසුන්ගෙන. ඔබ වෙනුවෙන් ඔවුනගේ සිතැඟි අවධි කරවන්නට මා සූදානමින්. මොහොතක නිහැඬියාවකි. ඒ දෑස් මත ලියැවුණු බොහෝ දේවල් වදනට ගොනු කරන්න දැන් කාලය ඇවිත්.
කොහොමද?
හොඳයි . . . අසංක මල්ලී කාලෙකට පස්සේ නේද?
මගේ පැනයට, පැනයකින්ම පිළිතුරු දෙමින් රූකාන්ත කතාබහ ආරම්භ කළේ ඒ විදිහට.
මොකද හිතෙන්නේ දැන් ‘වරදට – දඬුවම්’ ලැබිලා . . .?
රූකාන්ත දෙස බලමින් යළිත් මං විමසුවා.
ඔව්. ඔයා ආවේ ඒ ගැන කතා කරන්නනේ. අපි කතා කරමු. එදා අපට වුණ අසාධාරණයට අද නීතියෙන් යම්කිසි සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. අවුරුදු ගණක් මේ නඩුව විභාග වුණා. මම හිතන්නේ මේ අපි ලබපු පෞද්ගලික ජයග්‍රහණයක් නෙවෙයි. මේ රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වූ අවස්ථාවක්. කිසිම වටිනාකමක් නැති දෙයක් විදිහට මේ ප්රශ්නය පොළොවට පස් වෙලා, දිරලා, යටපත් වෙලා ගියේ නෑ. ඒක එළියට ඇවිල්ලා අද මේ මට්ටමින් විසඳීලා තියෙනවා.
මගේ යාළුවෙක් කිව්වා ලස්සන කතාවක්?
මොකක්ද?
රූකා . . . ලේඛා . . . දෙන්නම ඇහුවේ එකටම වගේ.
හාල්මැස්සෝ ටික අහු වුණාට තෝරු, මෝරු තවම නිදැල්ලේ කියලා?
මේ අපරාධයට සම්බන්ධ හැමෝටම දඬුවම් ලැබුණේ නෑ. ඒක වෙනමම කතාවක්. නමුත් නීතියේ රැහැනට හසු වූ අයට දඬුවම් ලැබුණා. මේ නිසා අපේ අධිකරණය, නීතිය ගැන මිනිස්සුන්ට කිසියම් බලාපොරොත්තුවක්, විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. නීතියෙන් ‘යමක්’ වෙනවා කියන පණිවිඩය ඔවුන්ට දීලා තියෙනවා.
අපට මතකයි ඒ කාලේ මේ සිද්ධියට රටේ ජනප්‍රිය, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් පවා ඈඳුණා?
නමුත් ඒවා ඔප්පු කරන්න තරම් මම හිතන්නේ සාක්ෂි ලැබිලා නැතුව ඇති. මේ විත්තිකරුවෝ එකොළොස් දෙනාගෙන් කවුරුත්ම ඒක හෙළිදරව් කළේ නැහැනේ. ඉතින් කොහොමද තෝරු, මෝරු අල්ලන්නේ. නමුත් අපි දන්නවා එදා මේ ‘අපරාධය’ට මුල් වුණේ කවුද කියලා.
ලේඛාගේ කතාව අස්සේම මගේ සිතට නැඟුණ පැනය මම ඈ ඉදිරියේ තැබුවා.
එතකොට මේ වැඩේ පිටිපස්සේ ‘මහ මොළ කාරයෙක්’ ඉන්නවා?
එහෙම තමයි අපට දැනගන්න තියෙන්නේ. කට කතාවලින් එහාට ගිය සත්‍යයක්. අපි දන්නවා. සමහර විට මේ වරදකරුවන් වුණ අය එදා ඒ දේවල් කරන්න ඇත්තේ එක්කෝ තමන්ගේ රැකියාව බේරා ගන්න, එහෙම නැතිනම් වෙනත් වරප්‍රසාදයක් ලබාගන්න වෙන්නැති. ඒත් ඒවාට අද ඔවුන් විපාක විඳිනවා. ඒ අය බිල්ලට දීපු අයට නීතියෙන් දඬුවම් නොලැබුණත් කවදා හරි දෙවියන්ගෙන් දඬුවම් ලැබෙයි.
ඇගේ ඒ වදන්වල තියෙන්නේ වෛරයක්, ද්වේෂයක් හෝ පළි ගැනීමේ චේතනාවක් නම් නෙවෙයි. වේදනාව කැටි වූ කලකිරීමක්, සංතාපයක්.
මම හිතන්නේ අද ඔබ එදාට වඩා සැහැල්ලුවෙන් ඉන්නේ. මේ ‘චණ්ඩි පැටව්’ ගැන දැන් මොකද හිතෙන්නේ?
රූකාන්ත දැඩි ආගම් භක්තිකයෙක්. ඒ වාගේම ඔහු ඉතා සංවේදී පුද්ගලයෙක්. සතුරාට පවා වෛර කිරීමේ පිළිවෙතක් ඔහු ළඟත් නෑ.
අපි ඒ අයට ‘සමාව’ දුන්නේ එදාමයි. නමුත් රටක යම්කිසි නීති පද්ධතියක් තියෙනවා. මේ නඩුව ෆයිල් කළේ පොලිසියෙන්නේ. රහස් පොලිසියත් හවුල් වෙලා ඒ වැරැදිකරුවන් හොයලා අල්ලලා නීතිය ඉදිරියට ගෙනාවේ. අපිට එන්න කිව්වා. පෙරට්ටුවේ දී අපි ඔවුන් හඳුනා ගත්තා. අපේ කොටස අපි කළා. පොලිසියේ කොටස පොලිසිය කළා. අධිකරණයේ කොටස අධිකරණය කළා. එහෙමයි සිද්ධ වුණේ. මොකද වෙන්නේ කියලා මිනිස්සුත් බලාගෙන හිටියා.
මේක ඔයාලගෙම ප්ලෑන් එකක් කියලා කතාවකුත් ඒ කාලේ තිබුණා නේද?
ඔව්. සමහරු එහෙමත් කිව්වනේ. අපිම මිනිස්සු ගෙන්නගෙන, අපිම කොණ්ඩය කප්පවා ගෙන, ඇඟට පෙට්‍රල් හලාගෙන ඒ දේවල් කළා කියලා කිව්වනේ. අපි ඇමෙරිකාවට යන්න කරපු උප්පරවැට්ටියක් කියලයි ඒ අය එදා කිව්වේ. අධිකරණයේදී විත්තියේ එක නීතිඥ මහත්තයෙකුත් මගෙන් ඒ ගැන ප්‍රශ්න කළා.
එතකොට ඒ ‘ඇමෙරිකා’ කතාව බොරුවක්?
අපි කලාකරුවෝ. ප්‍රසංග වේදිකාවට නිතර ගොඩ වෙන අය. කොණ්ඩ කපාගෙන, මුහුණුවල් අවලස්සන කරගෙන අපි කොහොමද රසිකයෝ ඉස්සරහට යන්නේ. ඉතින් අපිම ඔය වගේ මෝඩ වැඩක් කර ගනියිද? අපි ඇමෙරිකාවට ගියේ ඔය සිද්ධිය වෙලා අවුරුදු තුනකට පස්සේ. 2003 අන්තිමට වගේ අපේ ගෙටත් ගිනි තිබ්බනේ. ඊට පස්සේ තමයි අපි රට හැරලා ගියේ. අර ‘නඩුව’ මහ අධිකරණයට ගෙනියන්න දවස් කිහිපයකට කලින් වුණ සිද්ධියක් ඕක. එත් අපි ඉවසගෙන හිටියා. අන්තිමට 2005 දී තමයි අපි ඇමෙරිකාවට ගියේ.
අර මුල් සිද්ධියයි, ගේ ගිනි තැබීමයි අතරේ සම්බන්ධයක් තිබුණාද?
ඒ කිව්වේ?
නෑ, මම ඇහුවේ මේ දෙකම එකම පිරිසකගේ වැඩක් ද කියලයි?
මම ඒකට ‘ඔව්’ කියන්නෙත් නෑ. ‘නැහැ’ කියන්නෙත් නැහැ නිශ්චිත පිළිතුරක් දෙන්න බැරි නිසා. මට හරියටම ඒ ගැන කියන්න අමාරුයි. ඒකයි මම මේ සිද්ධි දෙක එකට ඈඳන්න නොයා එදා කරබාගෙන හිටියේ.
‘අපරාදේ දේශපාලනය කරන්න ගිහින් තමයි රූකාන්තලා මේ වින්නැහිය කර ගත්තේ’ කියලා එදා සමහරු කිව්වා මට මතකයි?
ඔව්. එදා ඉතින් මම එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ගොඩ වුණානේ. කවුරුත් දන්නවනේ ඒක.
එත් අද වෙනකොට මම හිතන්නේ ඔබ එදා හිටපු ඒ දේශපාලන ස්ථාවරයේ නෙවෙයි ඉන්නේ?
මේ සිද්ධිය හරහා ද එහෙම වුණේ?
මම කවදාවත් දේශපාලන පක්ෂයක්, පාටක් බලපු කෙනෙක් නෙවෙයි. මැරුණත් කොළ, මැරුවත් නිල් කියන දේශපාලනයට මම කැමැති නැහැ. ඔය පක්ෂ, පාටවලින් තමයි අපේ මිනිස්සු භේදබින්න කරවලා තියෙන්නේ. මම කියන්නේ පුද්ගලයා දිහා බලලා තමයි අපි උදව් කරන්න ඕනෑ.
එදා රනිල් වික්‍රමසිංහ මහත්තයට ඔබ උදව් කළේ ඒ ස්ථාවරයේ ඉඳගෙන?
ඔව්, ඇත්තටම. ඒත් මේ යුද්දෙන් පස්සේ මම දක්කා, මම අවබෝධ කර ගත්තා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් කවුද කියන එක. අද මේ රටේ සිදුවෙන සංවර්ධන ක්‍රියාවලිය මට ඇස් දෙකට පේනවා. මම අත්විඳීනවා. මම කියන්නේ නෑ සියල්ලෙන් සම්පූර්ණයි කියලා. නමුත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් ස්වර්ණමය යුගයක් අපට ඉදිරියේදී උදා වෙනවා. ඒක මේ සිහිනයක් නෙවෙයිනේ. ඇස් දෙකට පෙනෙන දෙයක්. අපේ රටේ සියලු දෙනාට සතුටු වෙන්න පුළුවන් යුගයක් ඉදිරියේදී උදාවෙයි කියලා මම විශ්වාස කරනවා.
ඒ කියන්නේ දැන් ඔබ ‘මහින්ද චින්තනය’ ගරු කරන, එතුමාගේ පාක්ෂිකයෙක්?
පාක්ෂිකයෙක් කියන්නේ මෙහෙමයි, ඔය පාටවල් මට අවශ්‍ය නෑ. නමුත් මම ‘මහින්ද චින්තනය’ විශ්වාස කරන කෙනෙක්. ‘මහින්ද’ව විශ්වාස කරනවා.
කලාකරුවා, නිවහල් පුද්ගලයකු විය යුතුයි කියා ඔබ සිතන්නේ නැද්ද?
අනිවාර්යයෙන්ම. අපි නිවහල් පුද්ගලයෝ. ඒ නිසයි මම පක්ෂ දේශපාලනයට අකැමැති. නමුත් රටේ ‘නායකත්වය’ රට දියුණුව කරා ගෙන යනවා නම් අප ඊට ගරු කරන්න ඕනෑ. මම මේක මේ ඡන්දයක් ඉලක්ක කරගෙන කරන ප්‍රකාශයක් නෙවේ.
ලක්ෂ විස්සක වන්දියක් ගෙවන්නත් උසාවියෙන් නියෝග කළා?
එදා අපට ඇති වූ සිත්තැවුල, කලකිරීම, බිය, ලැජජාව මේ දේවල් ලක්ෂ විස්සක මුදලකට සීමා කරන්න බෑ. අපි දෙන්නා මානසිකව වැටුණා. දරුවෝ මානසිකව වැටුණා. ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. සෑහෙන කාලයක් යනකල් ඒක හදන්න බැරිව හිටියා. නමුත් වැරැදිකරුවන් නීතිියේ රැහැනට හසු කරගෙන මේ වගේ තීන්දුවක් දෙන්න පුළුවන් තරමට අධිකරණය ශක්තිමත් වීම රටේ අනාගතයට සුබ දෙයක්. අද එහෙම තැනකට මේ රට ඇවිත් තියෙන එක ගැන සතුටයි.
ලේඛා එසේ පවසන්නේ සුබවාදී හැඟීමෙන් යුතුව. එත් ඒ අඳුරු අතීතය ඇයට අමතක නැහැ.
2000 අවුරුද්දේ ජනවාරි 26 වැනිදා තමයි මේ සිද්ධිය වුණේ. මේකෙ උඩ තව කට්ටියක් ඉන්න බව අපි දන්නවා. නමුත් අද වෙනකල්වත් දඬුවම් ලබපු අය තමන්ව මෙහෙයවපු අය කවුද කියලා හෙළි කළේ නෑනේ. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම ඒ අයට ඒ දඬුවම විඳින්න වෙනවා. තමුන්ට දෙයක් වුණාම බේරා ගන්න කවුරුත් නෑ කියලා දැන් එයාලට තේරිලා ඇති. ඇත්තටම මේක කාටත් හොඳ පාඩමක්. ඒ වගේම ආදර්ශයක්.
මම හිතන්නේ තාමත් ඒ ‘අඳුරු මතකය’ අමතක කරන්න බෑ?
ඇත්තටම ඒ ගැන මතක් කරන්නවත් කැමැති නෑ. ඊයේ පෙරේදා පත්තරවල, රූපවාහිනි නාළිකාවල අපි ගැන කියවෙද්දී වින්ඩි දුව ඒවා බලාගෙන හිටියා. එයාලා ඉදිරියේ ඒ ගැන අපි කතා වෙන්නේවත් නෑ. මොකද ආපහු ඒ යටගියාව මතක් වෙයි කියන බයට. එදා අපි ඒ සිද්ධියට මුහුණ දුන්නේ කොහොමද කියලා දැන් පුදුමත් හිතෙනවා. සමහර දවස්වල නින්දට ගියාම ඒ සිද්ධිය මතක් වෙනවා. දැන් හිතන කොටත් බයයි.
ඒ අවාසනාවන්ත සිදුවීම නිසා ඔවුන්ට අහිමි වූයේ සිය ‘අභිමානය’ පමණක් නොවේ. රෑ පුරා, නිදි වරමින් උපයා ගත් මුදල්. රන් ආභරණ වගේම තවත් භෞතික සම්පත් ඔවුන් කොල්ලකෑවේ අනුකම්පා විරහිතව.
අපි සංදර්ශනවලට ගිය වාහනයට එයාලා ගොඩක් අලාභ හානි කළා. ඩෑෂ් බෝඩ් එක කුඩු කළා. අන්තිමට රූකාන්ත වාහනේ ඩ්‍රයිව් කළේ ගඩොල් ගෙඩි කිහිපයක් උඩින් ලෑලි කෑල්ලක් දාලා ඒකේ ඉඳගෙන. අපි වාහනය ඉන්ෂුවරන්ස් කරල තිබුණේ නැති නිසා පස්සේ ලක්ෂ හතරකට විකුණලා දැම්මා. තවමත් ඒ ගැන තියෙන්නේ දුකක්.
එදා මේ සිද්ධියෙන් කැලඹීමට පත්වුණේ රූකාන්ත – චන්ද්‍රලේඛා යුවළගේ ගීතවලට ප්‍රිය කළ රසික රසිකාවන් විතරක් නෙවේ. ‘මනුෂ්‍යත්වය’ අගය කළ හැමෝගේම හදවත්වලට මේ ‘අමනුස්සකම’ දරා ගන්න පුළුවන් වුණේ නැහැ.
එදා ඉඳලා අද වෙනකල් අපි ගැන හොයන රසික, රසිකාවන්ට වගේම අපේ හිතවතුන්ට මේ වෙලාවේ ස්තුති කරනවා. ඇත්තෙන්ම නීතියෙන් මේ වගේ සාධාරණයක් ඉෂ්ට වුණ එක ගැන එයාලා ඉන්නේ පුදුම සතුටකින්. ලැබෙන්න තියෙන මුදල්වත්, වෙන දෙයක්වත් හින්දා නෙමෙයි. මමත් සතුටු වෙන්නේ නීතියෙන් ලැබුණ මේ රැකවරණය ගැන. මොකද අධිකරණය ගැන නොයෙකුත් විවේචන පසුගිය කාලේ අපේ රටේ තිබුණනේ.
ලේඛා එහෙම කියද්දී රූකාත් අපේ කතාවට ආයේ සම්බන්ධ වුණා.
වැරැදි කරපු අයට නීතියෙන් දඬුවම් නොලැබුණත් ඒවා වෙලාවට උඩින් එයි. උසාවියෙන් දඬුවම් නොලබපු අයට මම දන්නවා වෙන විදිහට ඒ දඬුවම් ලැබිලා තියෙනවා. කාටවත් හැංගෙන්න බෑ. ස්වභාව ධර්මයෙන් ලැබෙන දඬුවම නීතියෙන් ලැබෙන දඬුවමට වඩා ප්‍රබලයි. ඒත් මම ඒවා ගැන සතුටු වෙන්නේවත්, දුක් වෙන්නේවත් නැහැ. හැම නරකක්ම හොඳක් බවට පත් කරන්න දෙවියන් වහන්සේට පුළුවන්.