ආණ්ඩුව උතුරේ ජනතාව සමග සෙල්ලම් කරනවා - ටිල්වින් සිල්වා

වර්තමාන ආණ්ඩුව පැවති අනෙක් ආණ්ඩු මෙන්ම තමන්ගේ වාසිය වෙනුවෙන් උතුරේ ජනතාවගේ ප‍්‍රශ්නය සමග ක‍්‍රීඩා කරමින් සිටින බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ජාතික ගැටළුව විසඳීම සඳහා ප්‍රවේශයක් මැයෙන් හම්බන්තොට පැවති සම්මන්ත්‍රනයක ප්‍රධාන දේශනයට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් දැක්වීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

පළමුවෙන්ම කිව යුතුයි ලංකාවේ ජාතික ගැටලූව ඒ කියන්නේ උතුරේ ප‍්‍රශ්නය ඉතාම බරපතළ තැනකට ඇවිත් තියෙනවා. අනෙක් ආණ්ඩු වගේම වර්තමාන ආණ්ඩුවත් තමන්ගේ වාසිය වෙනුවෙන් උතුරේ ජනතාවගේ ප‍්‍රශ්නය සමග ක‍්‍රීඩා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම මේ ප‍්‍රශ්නයෙන් ආණ්ඩුව වගකීමෙන් ගැලවීමට, අන් අය මත මේ ප‍්‍රශ්නය පැටවීම සඳහා පත් කළා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්. මේක සම්පූර්ණයෙන්ම ප‍්‍රශ්නය විසඳීම කල්මැරීම සඳහා ගෙනාපු කමිටුවක් නිසා ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළා ඒකට සහභාගි නොවී ඉන්න. ඒකට සහභාගී නොවී පැත්තකට වෙලා ඉන්නේ නැතිව ජනතා විමුක්ති පෙරමුණේ අපි තීරණය කළා මහින්ද රාජපක්ෂට කමිටුව තියාගන්න කියලා මේ රටේ ජනතාව සමග ජාතික ගැටලූව විසඳන්නේ කොහොමද කියලා දේශපාලන සංවාදයක් ආරම්භ කරන්න. ඒකට හේතුව පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡුා කරනවාට වැඩිය මේ රටේ ජනතාව සමග මෙය කතා කරන එක වැදගත්. මොකද කවදාහරි ජාතික ගැටලූව විසඳන්නේ වෙන්නේ මේ රටේ ජනතාවගේ බලපෑම් මතයි. ඒ නිසා දේශපාලනයට සංවේදී ජනකොටස් එක්ක මේ සංවාදය ගෙනියන්න අපි තීරණය කළා.


අපි පසුගිය ජූලි 24 වෙනිදා වැඩපිළිවෙලක් එළිදැක්වූවා. ජූලි මාසය කියන්නේ ඉතාම වැදගත් මාසයක්. පහුගිය ජූලි 23 වෙනිදට අපකීර්තිමත් කළු ජූලියට වසර 30ක් පිරුණා. ඉංදු-ලංකා ගිවිසුමට වසර 26ක් සම්පූර්ණ වුණා. ජාතික ප‍්‍රශ්නය උග‍්‍ර කරපු ජූලි මාසයේම එය විසඳන්න ඕන කියලා කල්පනා කරපු නිසා තමයි මේ කෘතිය අපි ජූලි මාසේ ජනතාව අතරට ගෙනාවේ. මේ ජාතික ප‍්‍රශ්නය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනා. එය බරපතල අර්බුදයක් වෙලා අන්තිමට බෙදුම්වාදී යුද්ධයක් දක්වා වර්ධනය වුණා. වසර 30ක් තිස්සේ පැවතිනු මේ යුද්ධය අපේ රටට විශාල විනාශයක් කරලා තියෙනවා. මිනිස් ජීවිත, දේපළ, ජාතීන් අතර සමගිය නැතිකළා. අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට ඉඩ හැදුවා. මේ අතරේ 2009 මැයි 19 වෙනිදා යුද්ධය අවසන් වුණා. එයින් ඉඩ විවර වුණා විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලූවලට විසඳුම් හොයලා ඔවුන් අතර ජාතික සමගිය ගොඩනගලා ලංකාවේ ජාතික ගැටලූව විසඳීම සඳහා ආරම්භයක් තබන්න. නමුත් අපි කවුරුත් දන්නවා ආණ්ඩුව මේ වසර 04 ඇතුලේ උතුරේ ජනතාවගේ කඩිනමින් විසඳිය යුතු ප‍්‍රශ්න විසඳලා ජාතික සමගිය ඇතිකරනවා වෙනුවට පළාත් සභා, මහමැතිවරණ, ජනාධිපතිවරණ පවත්වමින් ව්‍යවස්ථා වෙනස් කරමින් තමන්ගේ බලය වැඩි කරගන්න ව්‍යාපෘතියකට ගියා. ඒ වගේම දැනටත් උතුරේ ජනතාව මත බලහත්කාරය පවත්වාගෙන යමින් අර්ධ මිලිටරි පාලනයක් ගෙන යමින් ඉන්නවා. යුද්ධය අවසන් වූ මොහොතේ සිටම ජනතා විමුක්ති පෙරමුණ ජාතික ගැටලූව විසඳිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳගෙන යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. යුද්ධය අවසන් වෙලා සතියකින් කරුණු 14කින් යුත් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. ඒකෙදි අපි කිව්වා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් උතුර ගොඩනැගීමේ කාර්ය සාධක බලකායක් හදන්න කියලා. එහෙ වුනානම් මුළු රටම එකතුවෙලා උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලූවලට විසඳුම් හොයන්න තිබුණා. එහෙම වුනානම් දෙමළ ජනතාව බෙදුම්වාදයට තල්ලූවෙන්නේ නැහැ. දෙමළ ජනතාව තමන්ගේ ගැලවුම්කාරයා ලෙස ඉන්දියාව හෝ ටී.එන්.ඒ එක තෝරාගන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ගොඩනැගෙන්න තිබුණා. මේ මුග්ධ, හිතුවක්කාර ආණ්ඩුව ඒ සියල්ල පැත්තකට දාලා බලය වැඩිකරගන්න උත්සාහ කළා. අධිරාජ්‍යවාදී ඉලපෑම් එල්ල වෙන්න ගත්තාම මේ ආණ්ඩුව ඉන්දියාවට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට බොරු පොරොන්දු දෙමින් ප‍්‍රශ්නය බරපතල තැනකට පත්කළා. මේ වසරේ උතුරු පළාත් සභාව පවත්වන්නෙත් ඉන්දියාවට දුන්නු පොරොන්දුවක් අනුවයි.

ආණ්ඩුව උතුර දිනන්න බැහැ කියා හිතුවා. ඒ නිසා කිසියම් සංශෝධනයක් කරන්න උත්සාහ කතා. ඒත් ඇත්ත චේතනාවෙන් නොවෙයි. ජනතාවට කිසිම වැඩක් නැති පළාත් සභා සංවාදයක් හැදුවා. ඉඩම්, පොලිස් බලතල නැතිව පලාත් සභා දෙන්න කියලා සිංහල ජාතිවාදීන් කෑගැහුවා. සම්පූර්ණ බලය සහිත පළාත් සභා ඕනෑ කියලා දෙමළ ජාතිවාදීන් කෑගැහුවා. ඒ දෙගොල්ලම දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න අමතක කළා. ජනතා විමුක්ති පෙරමුණේ අපට ඕනෑ වුණා දෙමළ ජනතාවගේ ගැටලූ විසඳන සංවාදයක් හදන්න. ධනපති ක‍්‍රමයේදී මහින්ද රාජපක්‍ෂලාට බැරි මේ ජාතික ගැටලූව විසඳීමට යම් තාක් දුරට ප‍්‍රයෝජනවත් වේ යැයි හිතලා තමයි මේ යෝජනා ගෙනාවේ. මේ සාකච්ඡුාව ගැන බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් සාකච්ඡුාවට ගත්තා. නමුත් ආණ්ඩුව අනුගමනය කළේ නිහඬ පිළිවෙතක්. මහින්ද රාජපක්‍ෂලාට අනුව එහෙම වැඩපිළිවෙළක් දැකලාවත් නැහැ. ඔවුන් ගෙනයන්නේ ජාතිවාදී දේශපාලනයක්. ඒනිසා අප එම සාකච්ඡුාව උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් ගෙනියනවා. උතුරේ ජනතාව මුහුණ දෙන දෛනික ගැටලූ අප මේ වැඩපිළිවෙළින් සාකච්ඡුා කරලා තියෙනවා. ජාතික ගැටලූවත් දෛනික ගැටලූත් විසඳන්න තමයි අප මෙම යෝජනාව ගෙනාවේ.

අපි පළමුව ජාතික ගැටලූව කුමක්දැයි විද්‍යාත්මකව හඳුනාගත යුතුයි. ගැටලූව හඳුනා නොගෙන ඉදිරිපත් කරන වැඩපිළිවෙළවල් සාර්ථක වන්නේ නැහැ. ජාතික ගැටලූව ගැන රෝහණ විජේවීර සහෝදරයා 1984-85 කාලයේ දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද කියලා විද්‍යාත්මක විග‍්‍රහයක් කරලා තියෙනවා.

ලංකාවේ ජාතිකත්වයන් කොටස් තුනක් හිටියා. ධනපති ක‍්‍රමය තුළ වෙනස්කම් තියාගෙන ඉඳලා බෙදා පාලනය කළ නිසා ජාතිවාදී ප‍්‍රශ්න ඇතිවුණා. ඒ හරහා ජාතික ප‍්‍රශ්නයක් හටගත්තා. බි‍්‍රතාන්‍ය පාලන සමයේ ජාතිකත්ව බෙදා පාලනය කළා. ජන කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය කළා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සැකය, අවිශ්වාසය ඇතිකළා. බි‍්‍රතාන්‍ය පාලනය 1948 ඊනියා නිදහස ලබා දුන්නත් දේශීය ධනපති පංතියත් ජාතීවාදී ලෙස රට පාලනය කළා. 1911 ජාතික සංගමය ලෙස එකතුවෙලා හිටපු අය දෙමළ මහජන සභාව, මැලේ දේශපාලන සංගමය, සිංහල මහා සභාව, සමස්ත ලංකා මුස්ලිම් සංගමය වැනි සංගම් ජාතිකත්ව පදනමින් හැදුවා. ලංකාවේ ආණ්ඩු ජනතාව පැත්තක තියලා තමන්ගේ බලය වෙනුවෙන් ගිිවිසුම් ගහන්න පටන් ගත්තා. ජනතාවගේ ප‍්‍රශ්න තේරුම් ගත්තේ නැහැ. ධනපති ක‍්‍රමයේදී ජනතාවට අයිතිවාසිකම් දෙන්න බැරිකමත් ජාතිවාදය ඇවිලවීමත් දෙක එකතුවෙලා තමයි ජාතික ගැටලූව නිර්මාණය වුණේ. 1958 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම, 1966 ඩඞ්ලි-චෙල්වනායගම් ගිවිසුම, 1976 ජේ.ආර්. අමිර්තලිංගම් රහස් ගිවිසුම, 1987 ඉන්දු-ලංකා ගිවිසුම, 2002 රනිල් ප‍්‍රභා ගිවිසුම වැනි ගිවිසුම් ගැහුවත් ජනතා ප‍්‍රශ්න විසඳුවේ නැහැ. ප‍්‍රශ්නය දුරදිග ගිහින් යුද්ධය දක්වා වර්ධනය වුණා. 87 ඉන්දියාව බලහත්කාරයෙන් තමයි ලංකාවට පලාත් සභා ගෙනාවේ. ඒත් ඒ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට උත්තරයක් නොවෙයි. ප‍්‍රශ්න තවදුරටත් වැඩිකරනවා පමණයි. පරිපාලන අර්බුද හදමින් විශාල ලෙස මුදල් නාස්ති කරනවා. අවුරුදු 25ක් කි‍්‍රයාත්මක වෙලත් මොන පළාතක්වත් සංවර්ධනය වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ බලයේ ඉන්න අයගේ දෙවන පෙළ හදනවා. පළාත් සභා හරියට මොන්ටිසෝරි වගෙයි. ප‍්‍රශ්න තිබුණේ උතුරේ පළාත් සභා ස්ථාපිත කළේ නැහැ. අනික් පළාත් සභාවල කි‍්‍රයාත්මක වුණා. හරියට ලෙඩා වෙනුවට පවුලේ අය බෙහෙත් බොනවා වගෙයි.

ඒ නිසා මේ ජාතික ගැටලූවට උත්තරයක් ඕනෑ. අසමානතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිරිහීම, ජාතිවාදය ඇතිවීම මේවා පරද්දන්න උත්තරයක් ඕනෑ. මහින්ද රාජපක්‍ෂටවත් ධනපති පංතියටවත් මීට පිළිතුරක් දෙන්න බැහැ. බොන්න වතුර ටිකවත් දෙන්න බැරි ආණ්ඩුවකට ජාතිවාදය පරාජය කරන්න පුලූවන් කියලා අප හිතන්නේ නැහැ. ජාතිවාද ස්ථිර ලෙස පරාජය කළ හැක්කේ් සමාජවාදී සමාජ ක‍්‍රමයක් තුළ පමණයි. ඒත් සමාජවාදය එනකං බලා ඉන්න අපට පුළුවන්කමක් නැහැ. පළවෙනි දේ තමයි එවැනි සමාජ ක‍්‍රමයක් දිනාගන්න සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සටන් කළ යුතුයි. දෙවැනි කාරණය තමයි ධනවාදය තුළ මේ ගැටලූව විසඳන්න පුළුවන් ප‍්‍රතිසංස්කරණ සිදුකළ යුතුයි. ධනවාදය තුළ ජාතික ගැටලූව විසඳන්න පහසු කරන ප‍්‍රවේශයක් තියන්න පුළුවන්.

ධනපති පංතියට, අධිරාජ්‍යවාදයට ජාතික ගැටලූව විසඳන්න උත්තර විදියට තියෙන්නේ එක්කෝ අත්තනෝමතික මධ්‍යගතකරණය. නැතිනම් අත්තනෝමතික විමධ්‍යගතකරණය. ඒ දෙකම වැරදියි. ජනතාවක් බලහත්කාරයෙන් එකතු කරන්න හෝ බෙදන්න බැහැ. පළාත් සභා යනු බලහත්කාරයෙන් බෙදීමක්. අපි කළ යුත්තේ ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස එකතු කිරීමයි. ඒ ජනතාවගේ කැමැත්තෙන්. ජනතාවට එය දැනෙන්න ඕනැ. මේ කිසිවක් මේ ආණ්ඩු ඉටුකරන්නේ නැහැ. අවතැන් ජනතාවට නිවසක් හදලා දුන්නේ නැහැ. යුද්ධය නිසා අසරණ වූවන්ට ජීවත් වෙන්න ජීවනෝපායක් හදලා දුන්නේ නැහැ. ආර්ථීකය ගොඩනගාගන්න උදව් කළේ නැහැ. දෙමළ තරුණයන් තවමත් සිර ගෙවල්වල ඉද්දී කේ.පී., දයා මාස්ටර්, තමිලිනී නිදහස් කළා. උතුරේ දෙමළ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නේ නැහැ. ඒ පළාත්වල අර්ධ මිලිටරි පාලනයක් ගෙනයනවා.

මේ ආණ්ඩුවට රෝගයක් වැළඳිලා තියෙනවා. ඒ තමයි හැම ප‍්‍රශ්නයකටම උත්තරේ හමුදාව කියලා හිතනවා. පහුගියදා වැලිවේරිය, රතුපස්වල ඛේදවාචකයක් සිදුවුණා. තරුණ ජීවිත තුනක් නැතිවුණා. ඇත්ත ගාණ තවමත් දන්නේ නැහැ. ආශ්වාස කරන ඔක්සිජන් වගේම ජනතාවට ජීවත් වෙන්න වතුරත් අත්‍යාවශ්‍ය දෙයක්. මේ ආණ්ඩුවේ ඊනියා සංවර්ධනය මගින් ජනතාවට බොන්න වතුරත් නැතිකරලා තියෙනවා. කර්මාන්ත ශාලා හැමතැනම සවිකරගෙන යනවා. බොන්න වතුර ඉල්ලලා පාරට බහින ජනතාවට හමුදාව දාලා වෙඩි තියෙනවා. බස්නාහිර පලාත් සභාවේ මහ ඇමති ඉන්න ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජනතාවට බොන්න වතුරටික නැහැ. ලංකාවේම ආර්ථිකය සංවර්ධනය කරනවා කියන ඇමති ඉන්නෙත් ගම්පහ දිස්ති‍්‍රක්කයේ. මේ කාටවත් මොකුත් කරන්න බැහැ. හතුරෙක් වුණත් වතුර ටිකක් ඉල්ලූවහම දෙන සංස්කෘතියක් අපිට තියෙන්නෙ. අපේ මුතුන් මිත්තන් දඩයමේ ගියාම වතුර බොන සතෙකුට ගිණි බින්දේ නැහැ. හැබැයි මහින්ද රාජපක්‍ෂ පාලනය වතුර ඉල්ලන ජනතාවට ගිණි බිඳිනවා. වෙඩි තියලා ඝාතනය කරලා ඒක වහගන්න අතේ පත්තුවෙන බොරු කියනවා. දැන් හමුදා පරීක්‍ෂණයක් කරන්න දෙයක් නැහැ. හමුදා ප‍්‍රකාශක දැනටමත් නිගමනවලට ඇවිත්. පරීක්‍ෂණ කියන්නේ ඇත්ත යට ගහන වැඩක්. ජනතාව තමන්ගේ අයිතීන් ඉල්ලා පාරට බහින සම්ප‍්‍රදායක් පුරුදු වෙමින් තිබෙනවා. ඒක ඉගැන්වුවේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතාව පාරට බහින එක ආණ්ඩුවට අවාසියක් නිසා ජනතාව බියවද්දන්න වුවමණා වුණා. මාධ්‍යවේදීන්ට ගැහුවා. පිළිසරණක් පතා පල්ලියට ගිය ජනතාවටත් මේ ආණ්ඩුව වෙඩි තිබ්බා. මීට අණ දුන් දේශපාලන නායකත්වය වගකියන්න ඕනෑ. මෙැවනි ආණ්ඩුවක් උතුරේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙයිද?

ජාතික ගැටලූව එක් එක් අය තමන්ගේ බල වුවමනාවට පාවිච්චි කරගන්නවා. ටී.එන්.ඒ. එක, ඉන්දියාව එක්ක එකතු වෙලා ජාතික ගැටලූව පාවිච්චි කරන්නේ උතුරේ බලය දිනාගන්න. ආණ්ඩුව පාවිච්චි කරන්නේ තව තවත් බලයේ රැුඳී ඉන්නයි. මහින්ද රාජපක්‍ෂ දැන් බොරුවක් කරනවා ජනතාවනි බය වෙන්න එපා ඉඩම් පොලිස් බලතල තියෙන්නේ තමන්ගේ අතේ කියලා. ජනතාව රවටලා ප‍්‍රශ්නය වවාගෙන කන්න හදනවා. එනිසා දෙමළ ජනතාව ජාතිවාදයෙන් ගලවා ගන්න ඕනෑ.

ජාතික ගැටලූව විසඳන පැත්තට පියවර තියන්න පුළුවන් අපේ යෝජනා කරුණු පහක් යටතේ ඉදිරිපත් කරලා තියෙනවා. ජාතිකත්ව පීඩනය අවම කරන්න, ප‍්‍රජතන්ත‍්‍රවාදී නිදහස තහවුර කරන්න, පීඩාවට පත්වූවන්ට සමාජ සුුභසාධනය ස්ථාපිත කරන්න, පීඩාවට පත් වූ ප‍්‍රදේශ යථාවත් කරන්න, බෙදීම වෙනුවට එක්වීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා. පළමුව ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ව්‍යවස්ථාවෙන්ම ජාතිවාදය තහනම් කළ යුතුයි. ජාතිවාදී ආගම්වාදී ලෙස සංවිධාන හැදීම තහනම් කළ යුතුයි. රටේ මුදල් කාබාසිනියා කරන පලාත් සභා අහෝසි කළ යුතුයි. අපි යෝජනා කරන්නේ විශේෂ ප‍්‍රශ්න ඇති තැන් හඳුනාගෙන ඒ සඳහා පමණක් කිසියම් පරිපාලන ඒකකයක් ස්ථාපිත කළ යුතුයි. උදාහරණයක් ලෙස ජනතා සභා ව්‍යූහය අපි යෝජනා කරනවා. ධනේශ්වර සංවර්ධනයේ ඉතාම පිටුපසින් සිටින ප‍්‍රදේශ, ජාතිකත්ව ප‍්‍රශ්න නිසා පීඩා විඳින ජනතාව ජීවත් වන ප‍්‍රදේශ, වතුකරයේ ජනතාවට, අපේ රටේ සංවර්ධනය අතින් ඉතාම පහළ සිටින ඌව පළාතේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ සියඹලාණ්ඩුව වැනි ප‍්‍රදේශවලට මෙම ජනතා සභා යොදාගන්න පුළුවන්.

ඒ සඳහා ජනතා සභා සීමා නිර්ණය කිරීමේ කොමිසමක් පාර්ලිමේන්තුව, පරිපාලන නිළධාරීන් සහ විද්වතුන්ගෙන් සමන්විත වන පරිදි ස්ථාපිත කළ යුතු බව අපි යෝජනා කරනවා. එම කොමිසම මගින් ප‍්‍රදේශ හඳුනාගෙන ජනතා සභාවක් මහජන ඡුන්දයෙන් පත්කරගත හැකියි. නිල කාලය වසර 5යි. විශේෂ තත්වයක් නොමැති නම් ඊට කලින් විසුරුවා හැරිය නොහැකියි. ජනතා සභාවේ බහුතරයේ කැමැත්ත මත පාර්ලිමේන්තුවට එක් නියෝජිතයෙක් පත්කළ යුතුයි. එම නියෝජිතයා හරහා ජනතා සභාවට මුදල් ප‍්‍රතිපාදන සහ ආර්ථික කටයුතු, දේශපාලන කටයුතු සඳහා පාර්ලිමේන්තුව සම්බන්ධීකරණය කළ හැකියි. මෙය බෙදීම වෙනුවට ජනතාව එකතුකරන දිශාවට ගමන්කරන ව්‍යූහයක්. අපි ජනතාවට කියනවා මේ පිළිබඳව ඔබේ යෝජනා අදහස් ඉදිරිපත් කරන්න කියලා.

අපේ රටේ භාෂා ප‍්‍රශ්නයක් තියෙනවා. සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා ප‍්‍රශ්න මතුවුණා. ඉන් පසු දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාව කළා. ඒත් අපේ රටේ රාජ්‍ය භාෂාව වෙලා තියෙන්නේ ඉංගී‍්‍රසි භාෂාව. අපේ ස්ථාවරය වෙලා තියෙන්නේ සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි භාෂා තුනම ජාතික භාෂා ලෙස සලකා කටයුතු කළ යුතුයි. පොලීසියේ, උසාවියේ දෙමළ භාෂාවෙන් වැඩ කටයුතු සිදුකරගැනීමට නොහැකිව දෙමළ ජනතාව අපහසුතාවයට පත් වෙලා. පොලීසිය, හමුදාව ඇතුලූ රජයේ ආයතනවල සේවකයින්ට දෙමළ භාෂාව ඉගැන්වීම දිරිගැන්විය යුතුයි. උතුරු නැගෙනහිර පොලීසිවල උපාධිධාරීන්ගෙන් සමන්විත මහජන සම්බන්ධීකරණ ඒකක ස්ථාපිත කළ යුතුයි. රටේ දරුවන්ට භාෂා තුනම ඉගැන්විය යුතුයි. ඒ මගින් භාෂා ප‍්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳිය හැකියි කියලා අප විශ්වාස කරනවා. භාෂාව නිසා කිසිවෙකු පීඩාවට පත් නොවිය යුතුයි.

ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය පරාජය කළ යුතුයි. ආණ්ඩුව මැදිහත් වෙලා ආගම් විරෝධයන් හදනවා. ඒ ආණ්ඩුවේ පැවැත්මටයි. එවැනි මතවාද පතුරුවන අයට එරෙහිව කටයුතු කරන්න නීති ප‍්‍රතිපාදන හැදිය යුතුයි. වෙනස්කම් වැළැක්වීමේ කොමිසමක් ස්ථාපිත කළ යුතුයි. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගේ පීඩාවට ලක්වෙනවා නම් මෙම කොමිසමට පැමිණිළි කළහැකි වන පරිදි නීති සම්පාදනය කළ යුතුයි. යුද්ධය කාලයේ ඇතිවූ විවිධ පීඩාවන් ඉදිරිපත් කරලා සහනයක් ලබාදීමේ අරමුණින් සත්‍ය විමර්ශන කොමිසමක් ස්ථාපිත කළයුතු බවටත් අපි යෝජනා කරනවා. ඒ වගේම උතුරේ සිට කි‍්‍රයාත්මක වන රූපවාහිනී නාළිකාවක් ආරම්භ කළ යුතුයි. දෙමළ ජනතාවගේ සංස්කෘතික කටයුතු පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. දෙමළ ජනතාව වැඩිපුර නරඹන්නේ තමිල්නාඩුවේ චිත‍්‍රපට. ඒ මගින් ඒ ජනතාවගේ මනෝභාවය පවතින්නේ තමිල්නාඩුවේ දේශපාලනයයි. ඒ වගේම උතුරේ ජනතාවගේ දේශපාලන කටයුතු සඳහා නිදහස ලබාදිය යුතුයි. නමුත් ආණඩුව කරන්නේ අනෙක් දේශපාලන පක්‍ෂවල කි‍්‍රයාකාරිකයින්ගේ නිවසකට බුද්ධි අංශ යවා ඔවුන් භීතියට පත්කරන එකයි. දෙමළ ජනයා රටේ ජාතික දේශපාලන පක්‍ෂවලට එකතුවෙන එක සාධනීය කරුණක්. ටී.එන්.ඒ. වැනි ජාතිවාදී පක්‍ෂවලට එකතුවීම ඉතා භයානක තත්වයක්. උතුරේ නිල නොවන සන්නද්ධ කණ්ඩායම් ඉවත් කළ යුතුයි. අනවශ්‍ය මාර්ග බාධක ඉවත්කිරීම මෙන්ම පොලීසිය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කොට සුදුසු අමාත්‍යංශයක් වෙතට ගෙනයා යුතුයි. ඒ වගේම එල්.ටී.ටී.ඊ.යේ ප‍්‍රබල නායකයින් නිදහස් කළා වාගේ උතුරේ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුව තිබෙනවා. උතුරේ සිදුවන හමුදාකරණය නතර කළ යුතුයි. මේ ආණ්ඩුව ගමන් කරන්නේ ඒකාධිපතිත්වය දක්වායි. මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කළ හැකි ඉඩකඩ ලබාදිය යුතුයි. මෙවැනි අත්‍යාවශය කටයුතු මේ ආණ්ඩුව විසින් කඩිනමින් ඉටුකළ යුතු බවට අපි යෝජනා කරනවා.

උතුරේ ජනතාවට සමාජ සුභසාධනය සඳහා වැඩපිළිවෙළක් සකසා ජීවත් වීමට අවශ්‍ය නිවාසයක් ලබාදීම හෝ නිවාසයක් තනා ගැනීමට අවමය රුපියල් ලක්‍ෂ 5ක මුදලක් ලබාදිය යුතුයි. පොදු රාජ්‍ය මණ්ඩල වැනි රැුජිනගේ මණදොළ සපුරන මගුල්වලට කෝටි ගණන් වියදම් කරනවා. මහින්ද රාජපක්‍ෂ බලාගෙන ඉන්නේ උතුරේ ජනතාවට ඉන්දියාව ගෙවල් හදලා දෙයි කියලා. යුද්ධය සමයේ ඉන්දියාවට පළා ගිය සරණාගතයින් නැවත ගෙන්වලා පදිංචි කළ යුතුයි. උතුරේ ඉඩම් ප‍්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතුයි. ඒ වගේම යුද්ධයෙන් පීඩාවට පත් සියලූම ප‍්‍රදේ්ශ යථාවත් කර මාර්ග පිළිසකර කිරීම, පාසැල්, රෝහල් පද්ධතිය අලූත්වැඩියා කිරීම, කර්මාන්ත ශාලා ආරම්භ කිරීම, ගොවිපළවල් ආරම්භ කිරීම, ආගමික ස්ථාන ගොඩනගා ගැනීමට ආණ්ඩුව උදව් කළ යුතුයි.

මේ යෝජනා මාලාවේ දීර්ඝ කාලීන වගේම කෙටි කාලීනව ඉටුකළ හැකි සරළ ලෙස වැඩ පිළිවෙලක් යෝජනා කර තිබෙනවා. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට සම්පූර්ණ විසඳුම් මේ යෝජනා මාලාවෙන් ලැබෙයි කියලා අප විශ්වාස කරන්නේ නැහැ. නැවත වතාවක් පලාත් සභා හරහා බෙදුම්වාදයට සංවාද හදලා ඉන්දියාවට, අධිරාජ්‍යවාදයට, මැදිහත් වෙන තත්වයක් උදාකරලා තියෙනවා. ඒ නිසා ඒවා පරාජය කරලා සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය ඇතිකළ යුතුයි. ජාතික සමගිය වෙනුවෙන් සටන් කළ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂයක් තවත් නැහැ. ඉන්දීය හමුදාව පළවා හැරීමට සටනට පන පෙව්වේ ජ.වි.පෙ. ඇතුලේ දේශපේ‍්‍රමී ජනතාවයි. රනිල්-ප‍්‍රභා සටන් විරාම ගිවිසුම අත්සන් කරලා රට බෙදන්න යනවිට ඒ ගමන වැළැක්වුවේ අපියි. අපි උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් හඬ නැගුවේ අපි. උතුරේදී, දකුණේදී අපි ඒ වෙනුවෙන් සටන් කළා. ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ලබාදිය යුතුයි. මෙම ජාතික ප‍්‍රශ්නය හදපු, වර්ධනය කරපු, ඒ මත බලයේ ඉන්න ධනපති පංතියට ඒ සඳහා විසඳුම් දිය නොහැකියි. සමාජවාදය වෙනුවෙන් සටන් කරන අතර ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න සටන් කළ යුතුයි.

අප ආණ්ඩුවට යෝජනා කරන්නේ මෙම වැඩපිළිවෙළ දෙමළ ජනතාවගේ ගැටලූ විසඳීම වෙනුවෙන් කි‍්‍රයාත්මක කළ යුුතු බවයි. නැතිනම් ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ වැඩපිළිවෙළ හරහා ජනතාව ඒකරාශී කරගනිමින් ජාතිවාදයට, ආගම්වාදයට, ජනතාව රැුවටීම වළක්වා ඒවා අහෝසි කිරීම සඳහා හැම උත්සාහයක්ම ගන්න බව කියන්න කැමතියි.

Gossip Lanka Hot News Previous News Archive