නවසීලන්තය අලූත් පොතක් පෙරලයි… ලංකාව දියර කිරෙන් ස්වංපෝෂිත කරනවාලූ

ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් වසර 2016 වන විට ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහන සදහා අනුග්‍රහය සහ පූර්ණ සහයෝගය ලබාදීමට නවසීලන්ත රජය ඊයේ සිය එකඟත්වය පළ කළේය.

මේ යටතේ දේශීය කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීම, කිරි ගොවින් දිරිමත් කිරීම සහ උසස් තත්ත්වයේ කිරි ගවයින් ප්‍රවර්ධනය කිරීමේ ඇතුළු වැඩසටහන්වලට සහාය ලබාදීමටද කිරි ගොවිපොළවල් ආරම්භ කිරීමට සහ කිරි නිෂ්පාදනය සදහා අවශ්‍ය ආධාර, දැනුම සහ තාක්ෂණය ලබාදීමටද නවසීලන්ත රජය ඉදිරියේදී කටයුතු කරනු ඇත.

දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන නවසීලන්තයේ විදේශ කටයුතු ඇමැති මුරේ මැක්කුලි මහතා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී අගෝස්තු 29වැනිදා පස්වරුවේදී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත නවසීලන්ත රජය මෙම එකඟත්වය පළකරනු ලැබීය.මේ පිළිබඳව නවසීලන්ත රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් ලබන නොවැම්බර් මසදී අත්සන් කිරීමටද එහිදි යෝජනා විය.


ලබන නොවැම්බර් මස 10 සිට 17 දක්වා කොළඹදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවන නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එම ගිවිසුමට අත්සන් තැබීමට යෝජිතය.

මෙයට කලින්ද කොළඹ ක්‍රමය යටතේ වසර 1965දී කොළඹ ක්‍රමය යටතේ දේශීය කිරි කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සහ කිරි ගොවින් දිරිමත් කිරීම සදහා නවසීලන්ත රජය මගින් අඹේවෙල ඇතුළු ගොවිපොලවල කිරි නිෂ්පාදනය සදහා අනුග්‍රහය ලබාදී තිබිණි. ශ්‍රී ලංකාවේ දැනට සිටින ලියාපදිංචි කිරි ගොවින්ගේ සංඛ්‍යාව 238,322කි. එමෙන්ම ලියාපදිංචි නොවූ ‍සුළු ගොවීන් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නය.

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට උසස් වර්ගයේ ආනයනික කිරිපිටි රජයේ සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව ලබාදීමට සහතික වන බවද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇතුළු අදාල අංශ සමඟ සම්පුර්ණ සහයෝගිතාවයෙන් එකඟව කටයුතු කිරීමටද නවසීලන්ත රජය ක්‍රියාකරන බව නවසීලන්ත විදේශ කටයුතු ඇමැති මුරේ මැක්කුලි මහතා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත මෙහිදී අවධාරණය කරනු ලැබීය.

දැනට බියගම පවත්වාගෙන යන කිරි නිෂ්පාදනාගාරය මගින් දියර කිරි වඩ වඩාත් ලබාගැනීමටත් ඒ සදහා කිරි ගොවීන් දිරිමත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද අදහස් කර තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට දියර කිරි අවශ්‍යතාවයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය වන්නේ සියයට 33ක ප්‍රමාණයකි. ඉතිරි සියයට 67ක ප්‍රමාණය විදේශියන්ගෙන් ආනයනය කිරීමට සිදුවේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රජය වසර 2005 සිට 2012 දක්වා සසදන කල මුළු කිරි නිෂ්පාදනය දස ලක්ෂ 107කින් වැඩිවී ඇත. එය සියයට 56ක වැඩිවීමකි වැඩිවී ඇති කිරි ගවයින් සංඛ්‍යාව 150,000කි.

උසස් තත්ත්වයේ කිරි ගවයින් තව ලක්ෂ 3කින් කිරි දොවා ගත් විට ශ්‍රී ලංකාව දියර කිරෙන් ස්වයංපෝෂිත කල හැකි බව පශු සම්පත් විශේෂඥයින්ගේ අදහස වී තිබේ ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය නිෂ්පාදන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දෛනික කිරි පරිභෝජනය මිලි ලීටර් 135කි.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග නවසීලන්ත විදේශ කටයුතු ඇමැති මුරේ මැක්කුලි මහතා පැවැත්වූ මෙම සාකච්ඡාවට නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ඇන්ඩියා ස්මිත්, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඇවරිල් හෙන්ඩසන්, නියෝජ්‍ය මහ කොමසාරිස් වැන්ඩි මැතිවිස් යන මහත්ම මහත්මීන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගි වූහ.

.

Gossip Lanka Hot News Previous News Archive