ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක් - Dominant Sri Lanka make it 4-1

සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය විජග්‍රාහීව අවසන් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ අවසන් තරගය ලකුණු 128කින් ජයග්‍රහණය කළහ. ඒ අනුව දෙරට අතර එක්දින තරගාවලියේ ජය 4-1ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් විය.කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති දිවා-රාත්‍රී තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 307ක් ලබාගත් අතර අප්‍රිකානුවෝ ඕවර් 43.5කදී ලකුණු 179කට දැවී ගියහ. එක්දින තරගාවලියේ වීරයා ලෙස කුමාර් සංගක්කාර හා ඊයේ තරගයේ වීරයා ලෙස ටී.එම්.ඩිල්ෂාන් සම්මාන හිමි කර ගත්හ.

මහේල, මාලිංග හා හේරත් වැනි පළපුරුදු ක්‍රීඩකයින් තිදෙනෙකු විවේක ගන්වා පිටියට පිවිසි ශ්‍රී ලංකාවට ජයග්‍රහණය උදා කිරීමේදී හිටපු නායකයින් දෙදෙනෙකු වන සංගක්කාර හා ඩිල්ෂාන්ගේ දායකත්වය කැපී පෙනෙණ අයුරින් ලැබුණි.ඩිල්ෂාන් තම 18වැනි ශතකයට ලකුණක් අඩුවෙන් තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර සංගක්කාර 79වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී සිටියේය.

සංගක්කාර වෙනදා එල්ල කරන ක්‍රිකට් පොතේ තාක්ෂණික පහරවලට පමණක් සීමා නොවී පන්දු 45කදී හතරේ පහර 12ක් සමග වේගවත්ව ලකුණු 75ක්වාර්තා කළේය. ඩිල්ෂාන් පන්දු 110කදී හතරේ පහර 13ක් සමග ලකුණු 99ක් ලබා සිටියදී වේග පන්දු යැවූ මැක්ලරන්ගේ යෝකර් පන්දුවකට දැවී ගියේය.ශ්‍රී ලංකාව තවත් රටකට එරෙහිව පැවැත්වූ එක්දින ක්‍රිකට් තරගාවලියකදී වැඩිම ලකුණු ලාභියා ලෙස වාර්තා පොතට එක්වූ සංගක්කාර මෙවර තරග 5කින් සමන්විත තරගාවලියේදී ලකුණු 372ක් ලබා ගැනීම විශේෂත්වයකි.


එයට අමතරව 2013 වසරේ එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභීයා බවට පත්ව සිටින සංගක්කාර මේ වන විට තරග 17කදී ලකුණු 883ක් ලබා සිටින අතර ඔහුට දෙවැනි වූ පාකිස්තානයේ මිෂ්බා උල් හක් මේ වසරේ සහභාගීවූ තරග 16කදී ලකුණු 767ක් ලබා සිටී. ඊයේ විදුලි අලෝක ධාරා මැද පන්දුවට පහරදුන් ඩි.විලියර්ස් හැර දකුණු අප්‍රිකානු පිතිකරුවන් බොහෝ දෙනා අපරීක්ෂාකාරී ලෙස පන්දුවට පහරදීමෙන් පරාජය තහවුරු කර ගත්හ.
මේ එක්දින තරගාවලියේදී දකුණු අප්‍රිකාවට අසාර්ථක නායකත්වයක් දුන් ඒ.බී.ඩී.විලියර්ස් මිනිත්තු 81කදී පන්දු 51කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 51ක් ලබා ගත්තේය.

වාර්තාගත 9වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 34ක් කරගැනීමට මැක්ලරන් හා පැන්ගිසෝ සමත්වූ අතර ලක්මාල් හා මෙන්ඩිස් කඩුලු 3 බැගින් බිඳ හෙලූ අතර සේනානායක කඩුලු 2ක් බිඳ හෙලීය.

දකුණු අප්‍රිකාවේ මුල් කඩුලු දෙකම සචිත්‍ර සේනානායකට ගොදුරුවූ අතර කොක් ලකුණු 27කට කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් හා අම්ලා ලකුණු 18කට කඩුල්ල මුවා කිරීමේ වරදට දඩුවම් ලැබීය. ඉන් පසු බිඳ වැටුණු කඩුලු 4ක් ලකුණු 20කදී දැවී යෑම දකුණු අප්‍රිකානු පිලට මහත් හිසරදයක් විය. සුරංග ලක්මාල්ගේ 5වැනි ඕවරයේදී කඩුලු 2ක් ද, අජන්ත මෙන්ඩිස්ගේ සිවුවැනි ඕවරයේදී කඩුලු 2ක්ද බිඳ වැටීම තීරණාත්මක විය.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇන්ජලෝ මැතිව්ස් මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර
ඩිල්ෂාන් හා කුසල් ජනිත් පෙරේරා ඉනිම ආරම්භ කළේය.

මේ තරගාවලිෙය් මුල්ම තරගයට කැඳවූ කුසල් පෙරේරාට තම ස්ථානය රැක ගැනීමට ලැබුණු මහගු අවස්ථාවක් අපතේ යවමින් ලකුණු 9කට දැවී ගියේ ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලකුණු 13දී සටහන් කරමිණි.

ශ්‍රී ලංකාවට දැවැන්ත ලකුණු ප්‍රමාණයක් කරා යෑමට මග පෑදූ ඩිල්ෂාන්-තිරිමාන්න දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 163ක් වූ අතර ලහිරු තිරිමාන්න පන්දු 93කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමග ලකුණු 68ක් ලබා තම හය වැනි එක්දින අර්ධ ශතකය වර්තා කළේය. මෙවැනි තරගයකදී අංක 3 පිතිකරුවෙකුගෙන් ඉටු විය යුතු සැබෑ සේවය තිරිමාන්න ඉටු කළ අයුරු ප්‍රශංසනීය විය.

අනතුරුව ඩිල්ෂාන් සමග එක්වූ සංගක්කාර ඕවර් 5කදී වේගවත් ලකුණු 36ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර ඩිල්ෂාන්ගේ දැවී යෑමෙන් සංගක්කාර-මැතිව්ස් සිවුවැනි කඩුල්ලට ලකුණු ලකුණු 45ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර මැතිව්ස් ලකුණු 23කට දැවී යෑමෙන් පසු පිටියට පිවිසි තිසර පෙරේරා පැමිණි වහාම මුල්ම පන්දුවෙන් ලකුණු හතරක් ලබා පස්වැනි කඩුල්ලට සංගක්කාර සමග නොබිදුණු ලකුණු 50ක සම්බන්ධතාවක් පන්දු 28කදී ගොඩනැංවිය.

තිසර පන්දු 14කදී හතරේ පහර 2ක් සමග නොදැවී ලකුණු 17ක් ලබා ගත්තේය. දකුණු අප්‍රිකාවේ මුල් පෙළේ පන්දු යවන්නා ලෙස සැලකෙන මෝර්නි මෝකල් දැඩි ප්‍රහාරයකට ලක්වෙමින් ලකුණු 78කට කඩුල්ලක් දවා ගත්තේය. ස්ටොස්ටොබ්, මැක්ලීන් හා පැන්ගිසෝ කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

තරග තුනකින් සමන්විත විස්සයි - 20 තරගාවලිය හෙට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත වේ.

Gossip Lanka Hot News Previous News Archive