කිරිපිටිවල ඩී.සී.ඩී තියනවා - ITI rejects claims it does not have necessary tools for DCD testing

ආනයනික කිරිපිටිවල ඩී.සී.ඩී අඩංගු බව පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය සතුව තාක්ෂණික මෙවලම් සහ ඥානය නොමැති බවට ඇතැමුන් කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව එම ආයතනයේ අධ්‍යක්ෂක සිරිමල් ප්‍රේමකුමාර මහතා පවසයි.

ආනයනික කිරිපිටිවල ඩී.සී.ඩී නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බවට මේ දිනවල රටපුරා වැඩි වශයෙන් කතාබහට ලක්ව තිබේ.එම මාතෘකාව සම්බන්ධයෙන් විද්වත් කතිකාවක් ටීවී දෙරණ වාද පිටිය වැඩසටහන ඔස්සේ පසුගිය දින(13) රාත්‍රියේ විකාශය කෙරිණ.

එම සාකච්ඡාවට කර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක සිරිමල් ප්‍රේමකුමාර මහතා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා,පෝෂණවේදී ආචාර්යය දමයන්ති පෙරේරා මහත්මිය සහ නේචර් සීක්‍රට් ආයතනයේ සභාපති සමන්ත කුමාර යන අය සහභාගී වූහ.එහිදි ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක සිරිමල් ප්‍රේමකුමාර මහතා පැවසුවේ ඕනෑම ද්‍රව්‍යයක ඩී.සී.ඩී තිබේදැයි පරීක්ෂා කිරීමේ තාක්ෂණික හැකියාව ඇති ආයතනයක් ලෙස ලොව පිළිගත් ආයතන අතර ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයද ඉදිරියෙන් සිටින බවයි.කිරිපිටි වල ඇති ඩී.සී.ඩී සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම මත බවත්, එය එකවර සිදුකළ නොහැක්කක් බැවින් මාස දෙකක පමණ කාලයක් ගත වූ බවත් හෙතෙම කියා සිටියේය.


ඒ අනුව මානව සම්පත් සහ තාක්ෂණික සම්පත් තම ආයතනය සතු බවත්, එවැනි දේවල් නැතැයි කවරෙකු හෝ පවසන්නේ නම් එය දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් ඔහු කිවේය.

කලක් ඕස්ට්‍රේලියාවෙන් මෙරටට ආනයනය කරන ලද පරිප්පු තොගයක් විෂ සහිත බව අනාවරණය කරගන්නා ලද්දේ කාර්මික තාක්ෂණ ආයතනයෙන් බවත්, ඒ වන විටත් ලොව වෙනත් රටකට එවැනි තාක්ෂණික ඥානයක් නොතිබූ බවත් අධ්‍යක්ෂක මහතා කියා සිටියේය.

කාර්මික තාක්ෂණ ආයතනයේ මෙම හැකියාව පිළිබඳව ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියකින් පවා එම තොරතුරු අනාවරණය කර තිබූ බවද සිරිමල් ප්‍රේමකුමාර මහතා කිවේය.

වරාය,රේගුව වැනි ස්ථානවලදී සැක කටයුතු භාණ්ඩ නවතා ගැනීමෙන් පසුව තම ආයතනයලවා පරීක්ෂා කර ගන්නා බවත්, මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවට අහිතකර ආහාර ද්‍රව්‍ය වෙළඳපොළට මුදාහැරීම වළක්වා ගැනීමට හැකි වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුන තම ආයතනය ඉතා ඕනෑකමින් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැප වී සිටින බවද ඔහු පැවසීය.

මෙම සංවාදයට එක් වූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදේනිය මහතා කිවේ කිරිපිටි ආනයනය කරන ලොව සෙසු රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වෙනි ස්ථානය හිමිකරගෙන ඇති බවයි.

කිරිපිටි ආනයනය කිරිම සඳහා වසරකට ඩොලර් බිලියන 40ක් වැය කරන බවත්, පසුගිය දශක කිහිපයේදී ලංකාව තුළ මෙම ව්‍යාපාරය හොඳ හැටි මුල් බැසගෙන තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

තමාගේ නිවසේත් මේ වන විටත් දියර කිරි පාවිච්චි කරමින් සිටින බවත්, පිටි කිරි වසන්ගතය මීට පෙර මෙරටේ නොතිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවට ආහාර ප්‍රතිපත්තියක් නොමැති බවත්,එය වහාම සකස් කළ යුතුව ඇති බවත් වෛද්‍ය පාදේනිය මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුමත කළ බව සඳහන් පානීය වතුර බෝතල් වෙළඳපොළේ ඇති බවත්, එවායේ විෂ ඇත්දැයි කිසිවෙකුටවත් තර්ක කළ නොහැකි බවත් එයට හේතුව මුදලට අදාළ ආයතන යටකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දුම්වැටි වලට එරෙහිව,හොර වෙදුන්ට එරෙහිව සහ ඖෂධ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ජනතාව වෙනුවෙන් පෙනී සිටි බව ඔහු පැවසීය.

ඒ තුළ කිසිදු දේශපාලන වුවමනාවක් නොතිබූ බවත් හදවතට එකඟව එම කටයුතු වලට මුල් තැන දුන් බවත් හෙතෙම සඳහන්කර සිටියේය.

සංවාදයට එක් වූ පොෂණවේදී ආචාර්යය දමයන්ති පෙරේරා මහත්මිය පැවසුවේ වේ ප්‍රෝටීන් යනු කිරිපිටි නිෂ්පාදනයේදී ඉවතලන දියර කොටස බවයි.

එයට විවිධ වූ රසායනික ද්‍රව්‍ය එකතු කර චීස් , බටර් වැනි නිෂ්පාදන සාදා වෙළඳපොළට මුදාහැර ඇත්තේ ප්‍රෝටීන් යනු ඉතා ගුණ දෙයක් ලෙස ජනතාව මුලා කරමින් යැයි ඇය පැවසුවාය.

මෙම කාරණය සම්බන්ධයෙන් බටහිර රටවල් හොඳ හැටි තේරුම් ගෙන ඇති බවත් ,බහුජාතික සමාගම් මුදල් උපයාගැනීමේ පරමාර්ථයෙන් කිරිපිටි අලෙවියට සමගාමීව මෙය සිදුකරන තවත් ව්‍යාපාරයක් බවත් ඇය පවසන ලදී.

මෙම සංවාදයට එක්වෙමින් නේචර් සීක්‍රට් ආයතනයේ සභාපති සමන්ත කුමාර මහතා පවසා සිටියේ ඩී.සී.ඩී පරීක්ෂා කිරිමට කාර්මික තාක්ෂණ ආයතනය සතුව තාක්ෂණික ඥානය නැතැයි කියූ පුද්ගලයින්ට අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

නිවටකම නිසා බහුජාතික සමාගම් මෙරටට අත පොවන බවත් , මුදල් මත පදනම් වූ වාණිජ සමාජයක් තුළ ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඔවුනට අවශ්‍ය නොවන බවත් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ මුදල් උපයාගැනීම බවත් ඔහු සඳහන් කළේය.

මෙරට ජනතාව තවමත් යටත් විජිත මානසිකත්වයෙන් සිටින බැවින් එම නිසා බහුජාතික සමාගම් මෙවැනි අතපෙවීම් සිදුකරන බවත් ඊට එරෙහිව ජනතාව නැගී සිටිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive