කොළඹ ලිබර්ටිහි පෙන්නූ `Madras Cafe` චිත්‍රපටයට විරෝධයක්

කොළඹ ලිබර්ටි හි ලයිට් සිනමා ශාලාවේ අද (24) ප්‍රදර්ශනය ආරම්භ කළ ශ‍්‍රී ලංකාවේ යුද්ධය පදනම් කර ගනිමින් තැනූ මැඩ්රාස් කැෆේ" චිත්‍රපටයෙහි උපසිරැසි නොමැතිවීමට විරෝධය දක්වා එය නරඹන්නට ගිය පිරිසක් ඉන්පිටව ගොස් ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ. ඔවුන් පවසා ඇත්තේ හින්දි භාෂාවෙන් ඇති මේ චිත්‍රපටය උපසිරසි නොමැතිව නැරඹිය නොහැකි බවයි.
 මෙසේ විරෝධය දක්වා නරඹන්නන් පිටව ගොස් ඇත්තේ අදාල චිත්‍රපටය නැරඹීමට ඔවුන් ලබාගත් රුපියල් 350ක් වටිනා ප්‍රවේශපත්‍ර යේ මුදලද ඉල්ලාගෙනය. කෙසේවුවද මේ මුදල් ලබාදෙන අතරේ එම සිනමා හලේ කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ ලබන අගහරුවාදාට මෙහි මීට වඩා හොද පිටපතක් ලැබෙන බවයි. "මැඩ්රාස් කැෆේ" සිනමා පටය ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබුවේ ඊයේ (23) වැනිදා සිටය. 'මැඩ‍්‍රාස් කැෆේ' චිත‍්‍රපටය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ‍්‍රී ලංකා රජයේ ආයෝජනයක් මත නිෂ්පාදනය වූවක් බවට ද චෝදනා එල්ලවී තිබිනි. කෙසේවුවද එය එසේ නොවන බව එහි ප‍්‍රධාන නළු ජෝන් ඒබ‍්‍රහම් මාධ්‍යට පවසා තිබිනි.
  මෙය ශ්‍රී ලංකා රජයේ රහසිගත මුදල් ආයෝජනය කිරීමෙන් නිෂ්පාදනය කර තිබෙන්නක් බවට ඉන්දියාවේ පැතිර යන කටකතා හා ඊට තමිල්නාඩුවේ එල්.ටි.ටි.ඊ. හිතවාදීන්ගේ විරෝධය එල්ලවී තිබෙන චෝදනා හමුවේ හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබිනි.
මේ අතර, තමිල්නාඩුවේ එල්.ටි.ටි.ඊ. හිතවාදීන්ගේ විරෝධය පළ වුවද ජෝන් ඒබ‍්‍රහම් සහ නාගීස් රගන මැඩ‍්‍රාස් කැෆේ චිත‍්‍රපටයේ දෙමළ බසින් හඬ කැවූ පිටපත ද අගෝස්තු 23 වන දා තමිල්නාඩුවේ තිරගත කිරීම ආරම්භ විය. මෙහි මුල් ප‍්‍රචාරක පටය විකාශය කිරීමත් සමග නාම් තමිලර් පක්ෂ නායක කොලිවුඞ් සිනමා අධ්‍යක්ෂ සීමාන් ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ඊට විරෝධය පළ කළේය. චිත‍්‍රපටය මගින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ත‍්‍රස්තවාදීන් ලෙස හුවා දක්වා ඇති බව ඔවුන්ගේ තර්කයයි. එහෙත් චිත‍්‍රපටය මුළුමනින්ම නැරඹීමෙන් තොරව එවැනි විවේචන ඉදිරිපත් නොකරන ලෙස මැඩ‍්‍රාස් කැෆේ අධ්‍යක්ෂ සූජිත් ශීකාර් ඉල්ලීමක් කර තිබේ. මෙරට යුද්ධය පදනම් කරගෙන නිර්මාණය කර ඇති මැඩ‍්‍රාස් කැෆේ චිත‍්‍රපටයේ ජෝන් ඒබ‍්‍රහම් රඟපාන්නේ ඉන්දීය රහස් ඔත්තු සේවය රෝ හි නියෝජිතයෙකු ලෙසය.

Gossip Lanka Hot News Previous News Archive