දැන් නම් යාළු මිතුරුකම් වෙනුවෙනුත් සම්මාන දෙනවා - ගයනා සුදර්ශනී

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වෙන වීදි පහන් ටෙලි නාට්‍යයේ ප්‍රබල චරිතයක් ගයනා සුදර්ශනී නිරූපණය කරයි. අති දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇයගේ තොරතුරු අපි සොයා බැලුවා.

ඉතිං ගයනා ‘වීදි පහන් නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
තාම කොටස් කිහිපයයි විකාශය වුණේ ස්වර්ණවාහිනි නාලිකාවේ 7.30ට තමයි මේ නාට්‍යය විකාශනය වෙන්නේ. නාට්‍ය අධ්‍යක්ෂණය කළේ මාලක නන්දන. නිෂ්පාදෙනය කළේ මගේ සැමියා සහන් විජේසිංහ. නාට්‍ය විකාශය වෙලා කෙටි කාලයට ලැබෙන ප්‍රතිචාර හොඳයි.

නාට්‍යයේ ඔබේ චරිතය ගැන කිව්වොත්
කොළඹ අවට පේළි ගෙයක ජීවත් වෙන පර්ල් නමැති කාන්තාවක් බත් පැකට් විකුණමින් සැමට උදව් කරමින් ජීවත් වන ගැහුනු චරිතයක්.

මෑත කාලයේ ඔබ නිරූපණය කළ චරිත බොහොමයක් මෙවැනිම චරිත ?
‍පොළොවේ පය ගහලා ජීවත් වෙන චරිතවලට තමයි මිනිස්සු කැමැති. මේකප් ගාගෙන ඉන්න චරිතවලට වඩා තාත්වික චරිතවලින් ප්‍රේක්ෂකයාට ඇතිවිය හැකි හැඟීම් ගොඩක් තියෙනවා.


මේ හැම චරිතයක්ම පීඩනයට අසු වූ කාන්තා චරිතනේ.
ගොඩක් චරිත පීඩනයට අසු වූ කාන්තා චරිත. නමුත් ඒ චරිත තුළ සමාන කමක් නැහැ. එකිනෙකට වෙනස් චරිත ඒවා. මම කරපු සමහර චරිත තාමත් ප්‍රේක්ෂකයාට මතකයි. ප්‍රේක්ෂකයාට කා වැද්දිය හැක්කේ එවැනි චරිත තමයි. සමාජයේ ජීවත් වන එවැනි චරිත ප්‍රේක්ෂකයා පිළිගන්නවා. අපිත් යම් නිර්මාණයක් විඳලා ප්‍රේක්ෂකයාටත් විඳින්න දෙයක් දෙන්න පුළුවන්නම් ඒක තමයි වැදගත්.

ඔබ කොපමණ චරිතාංග චරිත කළත් ඔබේ රංගන හැකියාවට නිසි ඇගයීමක් ලැබිලා තියෙනවාද ?
‘මඟුල් සක්වළ’ නාට්‍යයට මට කුසලතා සම්මාන ලැබුණා. සුදු හාමිනේ නාට්‍යයට හොඳම නිළියට නිර්දේශ වුණා. ඔරු බැඳි සියඹලාව නාට්‍යයේ චරිතයට හොඳම නිළියට නිර්දේශ වුණා. ඊට අමතරව නම් මට සම්මාන ලැබිලා නැහැ.

ඇයි එහෙම වෙන්න හේතුව?
ඒක මම දන්නේ නැහැ. නමුත් ප්‍රේක්ෂකයා නම් කියනවා සම්මාන ලැබිය යුත්තාට ‍නෙවෙයි සම්මාන ලැබෙන්නේ කියලා. ප්‍රේක්ෂකයා අපි හිතනවාට වඩා ගොඩක් බුද්ධිමත්. දැන් මම ගොඩක් වෙලාවට සම්මාන උළෙලවල්වලට යන්නේ නැහැ. ගිහින් අපිට අත්පුඩි ගහන්න වෙන්නේ සම්මානය හිමිවිය යුතු නිසි දක්ෂයාට නොවෙයි. කොහොම වුණත් අපට ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රසාදය ඒක සම්මානයට වඩා වටිනවා.

ඔබ සම්මාන ලබා දෙන ක්‍රියාවලිය වෙනසක් විය යුතුයි කියලද කියන්නේ ?
හැම සම්මාන උළෙලවල්වලම විනිශ්චය සභාවේ ඉන්නේ එකම විනිශ්චයකාරවරු මේක වෙනස් වෙන්න අවශ්‍යයි. මොකද එයාලා හැම සම්මාන උළෙලකදීම නිර්මාණකරුවන් දිහා බලන්නේ එකම ඇහෙන්. කලා නිර්මාණ ගැන හොඳාකාරවම දන්නෙ මහාචාර්යවරු කථිකාචාර්යවරු ඉන්නවා. එයාලාව මේ විනිශ්චය සභාවලට ගන්න පුළුවන්. අනිත් දේ යම් යම් වාසිතකාත් ගොඩක් අයට සම්මාන දෙනවා. ඊට අමතරත් යාළු මිතුරුකම් වෙනුවෙනුත් ගොඩක් අයට සම්මාන දෙනවා.

ඇයි ඔයා මේ ක්‍ෂේත්‍රය ගැන කලකිරිලද ඉන්නේ ?
නැහැ ක්‍ෂේත්‍රය ගැන කලකිරිලා නැහැ. මේ ක්‍ෂේත්‍රයට ආදරේ නිසයි තවමත් මම මේ ක්‍ෂේත්‍රයේ ඉන්නේ. නමුත් වර්තමානයේ මේ ක්‍ෂේත්‍රයේ ක්‍රියාවලිය ගැන නම් එතරම් පැහැදීමක් නැහැ.

ඔයාගේ නොපැහැදිලිකමට හේතු මොනවාද?
එකක් මෙගා රැල්ල කොටස් 300කටත් වඩා කොටස් දැන් යනවා. මේවා බිස්නස්කාරයන්ගේ වැඩ. මේවට මිනිස්සු කැමැති නැහැ. මෙගා නාට්‍ය විස්සක් ගියොත දහයයි මිනිස්සු බලන්නේ. මිනිස්සුන්ට මේවා එපා වෙලා තියෙන්නේ. ඉස්සර කොටස් විසිපහක් තිහක් විතරයි තිබුණේ. මේ නාට්‍යවලට මිනිස්සු තාම ආදරෙයි.

ගයනාට මෙගාවලට ආරාධනා ලැබිලා නැද්ද?
මොකද නැත්තේ ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඒ නාට්‍ය කරන අයවත් දන්නේ නැහැ මට දෙන චරිතය මොකක්ද කියලා.

ඒ කියන්නේ ?
කොටස් 350ක් තියෙන නාට්‍යයේ ලියලා තියෙන්නේ කොටස් 10යි. ඉස්සරහට වෙන්නේ මොනවද දන්නේ නැහැ. ඊට හොඳයි ඒ නාට්‍යවලට සම්බන්ධ නොවී ඉන්න එක. අවුරුද්දට නිර්මාණ දෙක තුනකට සහභාගි වෙන එක තමයි හොඳම.

වර්තමාන නිළියන්ගේ අනිසි රැකියා නිසා ක්‍ෂේත්‍රයට එකතු වෙන කළු පැල්ලම් ගැන මොකද හිතෙන්නේ ?
ඒක තමයි අපේ ක්‍ෂේත්‍රයේ තියෙන එකම ප්‍රශ්නේ. මේකට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරුත් වගකියන්න ඕනේ.

අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු වගකියන්න අවශ්‍ය ඇයි?
නාට්‍යයකට නිළියන් තෝරා ගැනීමේදි ඔවුන් නිරත වී සිටින වෘත්තීය සහ කලාවට ආදරෙයි ද කියලා හොයලා බැලිය යුතුයි.

ඇයි ඉතිං මාධ්‍යයට බණින්නේ
ටෙලි නාට්‍යයකට යන්තම් ඔළුව ඔබාගත්තාම ජනප්‍රිය නිළියක් අර නරක රැකියාවේ නිරත වෙලා ඉද්දි ඇල්ලුවා කියලා ලොකුවට මාධ්‍යයේ යනවා. ඒක ජනප්‍රිය, දක්ෂ, කලාවට ආදරය කරන නිළියන්ට කරන ලොකු අසාධාරණයක්.

නිළියන් අතරත් ප්‍රසිද්ධියේ වෙන ගැටලුත් ඉතිං ක්‍ෂේතයට කළු පැල්ලම් එකතු කරනවා ‍නෙවෙයිද?
බුද්ධිමත්ව හිතලා කටයුතු කරන්න බැරි එක ගැන නම් කරන්න දෙයක් නැහැ. තම තමන් උඩ බලාගෙන කෙල ගහගන්න වැඩක් තමයි ඒක.

ගයනා සිනමාවේ වැඩිය දකින්න නැත්තේ ඇයි?
කාලයකට ඉහත දී නම් මම සිනමා පටයකට සහභාගි වුණා. දොරකඩ මාරාව වගේ හොඳ නිර්මාණවලට නමුත් සිනමාවට සම්බන්ධ වෙන්න තරම් මට ආරාධනා ලැබිලා නැහැ.

ගයනා සුදර්ශනීට නැවත පෙම්වතියගේ චරිතයක් රඟපාන්න පුළුවන්ද?
අනේ දැන්නම් මට පෙම්වතියගේ චරිතය රඟපාන්න බැරි වෙයි. අපේ ඒ කා‍ලේ පසුවෙලා ඉවරයි.

ඉමල්කා ගුණවර්ධන

Gossip Lanka Hot News Previous News Archive