සටන දිනා මං මහ ඇමැති වෙනවා - එජනිස අපේක්‍ෂක දයාසිරි ජයසේකර

පාර්ලිමේන්තුවේ සිට පළාත් සභාව තෙක්‌ ආපසු හැරුණු දයාසිරි ජයසේකර මහතාගේ නිසැක බලාපොරොත්තුව වනුයේ වයඹ මහඇමැති ධුරයයි. එහෙත් එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක්‌ ද නොවන බව පෙනීයයි.  දයාසිරි ජයසේකර මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - පසුගිය මහ මැතිවරණයේදී ඔබ එක්‌සත් ජාතික පක්‍ෂයේ සිට සන්ධාන ආණ්‌ඩුව විවේචනය කොට විපක්‍ෂ භූමිකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. එහෙත් මෙවර පළාත් සභා මැතිවරණයේදී ඔබ සන්ධානය දිනවන්න මහ ඇමැතිධුරය ලබා ගන්න තරග කරනවා. මොනවාද ඔබට ලැබෙන ප්‍රතිචාර.

පිළිතුර - ඇත්තටම. මම ගත්තු ඒ තීරණය ගැන ජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක්‌ තිබෙනවා. මම එක්‌සත් ජාතික පක්‍ෂය පාවාදීලා පක්‍ෂයේ ඡන්ද අරගෙන ගිහිල්ලා ආණ්‌ඩු පක්‍ෂයේ වාඩිවුණේ නැහැ. ඒ වගේම විශේෂයෙන් මම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වුණා. එය මා හිතන්නේ ඓතිහාසික තීන්දුවක්‌ කියලයි. විශේෂයෙන්ම මධ්‍යස්‌ථ මතධාරීන් බොහෝ පිරිසක්‌ මට කතා කළා. ඔවුන් මගේ තීරණය අගය කළා. ඔවුන් කිව්වේ පක්‍ෂයේ රැඳී සිටින්න බැරිනම් පක්‍ෂයෙන් ඉවත්වුණාට ප්‍රශ්නයක්‌ නැහැ.


ඒ වගේම එජාපයෙන් යන්න ජනමතය විකෘති කරන්න මම කටයුතු කළේ නැහැ. මම ගත්තු ජනවරම නැවත පක්‍ෂයෙන් තියලයි මම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වුනේ. නැතිනම් මට ඉතා ලෙහෙසියෙන් මේ ආණ්‌ඩුවෙන් ඇමැතිකම් වරප්‍රසාද ලබා ගන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නැහැ.

ඒ වගේම ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් කියන්නේ මම නැවත තිඹිරිගෙයට ඇවිත් ඉන්නවා කියලයි. ඒ අතරේ එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් සලකන්නේ එජාපය තව අවුරුදු 10 කට 15 කට බලයට එන්නේ නැහැ කියා. ඔවුන් දන්නවා ඒ නිසා ඔවුන් මා ගත්තු තීරණය නිවැරදියි කියලා. ඒ නිසා ඒ කවුරුත් මාත් එක්‌ක බොහොම සහයෝගයෙන් වැඩ කරන්න මට සහයෝගය ලබාදෙන්න සූදානමින් ඉන්නවා.

ප්‍රශ්නය - දයාසිරි ජයසේකර කියන්නේ ජාතික දේශපාලනයේ නියෑලෙමින් සිටි පුද්ගලයෙක්‌. නමුත් ඔහු දැන් පළාත් දේශපාලනය තෙක්‌ පහළ බැස තිබෙනවා. මෙය ඔබගේ පසුබෑමක්‌ නොවේද?

පිළිතුර - ඇත්තටම මම අඩියක්‌ පස්‌සට තබලා තිබෙනවා. ඒත් මට තව අඩි 10 ක්‌ ඉදිරියට යන්න පුළුවන් ඒ ගැන මටවත්, ජනතාවටවත් ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ මම අලුත් පක්‍ෂයකට ඇවිත් තිබෙනවා. එහි මා ස්‌ථාවර විය යුතුයි. ග්‍රාමීය මට්‌ටමින් විශේෂයෙන්ම එහෙම වුණොත් තමයි මගේ ඉදිරි ගමන ගැන තීරණය වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විදිහට මම ආණ්‌ඩුවට ගියා නම් මට ඒ ග්‍රාමීය මට්‌ටම දිනා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසයි මම පළාත් මට්‌ටමට ඇවිත් මහ ඇමැතිවරය වෙලා ජනතාවට සේවයක්‌ කරලා යම් ස්‌ථාවරයක්‌ ගොඩනගාගන්න මම කටයුතු කරන්නේ. කුරුණෑගල වගේම පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ජනතාවට සේවය කරලා ජනතාව දිනා ගන්නයි මගේ පරමාර්ථය. එවිට මා නැවතත් ජාතික තලයේ දේශපාලනඥයෙක්‌ බවට පත්වේවි.

ප්‍රශ්නය - ඔබ මෙතෙක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටයි මැතිවරණ කටයුතු වලට මුහුණ දුන්නේ. නමුත් දැන් ඔබ ආණ්‌ඩුවේ නියෝජිතයකු ලෙස මැතිවරණ කටයුතු මෙහෙයවනවා. මේ දෙකෙන් කුමක්‌ද පහසු? වෙනස කොහොමද?

පිළිතුර - ඇත්තටම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සිට මැතිවරණ කටයුතු මෙහෙයවනකොට එහි ස්‌ථාවර යාන්ත්‍රණයක්‌ තිබෙනවා කියලා පැහැදිලියි. එය ශක්‌තිමත් රාජ්‍යය යාන්ත්‍රණයක්‌. අද ආණ්‌ඩුවට තිබෙන මෙම යාන්ත්‍රණයත් එක්‌ක එක්‌සත් ජාතික පක්‍ෂයට හැරෙන්නවත් බැහැ. අපිත් එජාපයේ සිට විවිධ යාන්ත්‍රණ භාවිත කරමින් උත්සාහ කළා ජයග්‍රහණය කරන්න. නමුත් සන්ධානය අනුගමනය කරන යාන්ත්‍රණය අනුව නම් සන්ධානය පරාජය කරන්න අමාරුයි. ඒ නිසාම ඉතාම ඉහළ ජයග්‍රහණයක්‌ ආණ්‌ඩුව මේ මැතිවරණයේදීත් ලබාගන්නවා. ඒ ආණ්‌ඩුව සතුව තිබෙන දැඩි රාජ්‍යය යාන්ත්‍රණය නිසා. අනෙක අති බහුතර ජනතාවක්‌ මේ ආණ්‌ඩුව ගැන ප්‍රසාදයක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - ඔබ මොකක්‌ද මේ කියන රාජ්‍ය යාන්ත්‍රණය? ඒ කියන්නේ රාජ්‍ය බලය, දේපළ වැනි දේවල් මැතිවරණයට යොදා ගැනීමද?

පිළිතුර - නෑ. මම මෙතනදී රාජ්‍යය යාන්ත්‍රණය කියන්නේ දැන් සමෘද්ධි ව්‍යාපාරය ගත්තොත් එය ඕනෑම අවස්‌ථාවක පාවිච්චි කළ හැකි දේශපාලන වැඩපිළිවෙළක්‌. ඒ වගේම විවිධ සංවිධාන බෞද්ධ සංවිධාන ක්‍රීඩා ආදී සියල්ල එකමිටට ගන්න පිලිවන් ඒවා විශාල ජනතාවක්‌ එක්‌රැස්‌වන, ගැවසෙන තැන්. හරියටම මේවායේ නිල අල්ල ගත්තොත් ආණ්‌ඩුවකට ජීවිත කාලෙටම පරදින්නේ නැතිව සිටින්න පුළුවන්.

ප්‍රශ්නය - කොහොම වෙතත් ඔබ මුලදී ප්‍රකාශ කළේ "මමයි මහ ඇමැති" කියලා බෝඩ් ගහගෙන යන්නේ නැහැ කියලා. ඒත් ඔබගේ මැතිවරණ තේමාව 'රටම කැමැති මහ ඇමැති' යන්නයි. එයින්ම පෙනෙනවා ඔබේ බලාපොරොත්තුව මහ ඇමැතිධුරයයි කියලා.

පිළිතුර - ඔව්, එහෙම තමයි නමුත් මහ ඇමැති අපේක්‍ෂකයා මමයි කියලා තනි කෙනෙකුට දීලා නැහැනේ. ඒ නිසා අපිට පුළුවන් මහ ඇමැති කියලා ප්‍රදර්ශනය කරන්න. ඒ අයිතිය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ තිබෙනවා. වෙන අයට ඒ ගැන රුදාවක්‌ තියෙන්න පුළුවන් විශේෂයෙන්ම මහ ඇමැතිකම් හම්බනොවන විපක්‍ෂ නායකකම් බලාපොරොත්තුවෙන් ඉන්න අයට. නමුත් අපේ කිසි ගැටලුවක්‌ නැහැ. විවෘතවයි තියෙන්නේ ඕනෑම කෙනෙකුට තමන් මහ ඇමැති අපේක්‍ෂකයා කියලා කියන්න පුළුවන්. නමුත් අවසානයේදී ඉස්‌මතුවෙන්නේ ජනමතය, ජනමතය අනුව තීරණයවෙයි කවුද මහ ඇමැති කියලා.

ප්‍රශ්නය - කොහොම වුණත් දැන් වයඹ මහ ඇමැතිධුරය තුන්කොන් සටනක්‌ බවට පත්වෙලා. මෙය මහ ඇමැති බලු පොරයක්‌ කියලායි විපක්‍ෂය හඳුන්වන්නේ. මේ පොරයෙන් ඔබට වැඩිම මනාප ලබාගෙන මහ ඇමැති විය හැකියි කියලා විශ්වාසයක්‌ තිබෙනවාද?

පිළිතුර - ඔව්, එහෙම උත්සාහයක්‌ තිබෙනවා. අතුල විඡේසිංහ හිටපු මහ ඇමැතිතුමා සමඟ මට ප්‍රශ්නයක්‌ නෑ කොහොමත් ජනමතය එක්‌ක බැලුවහම. ජොහාන් ප්‍රනාන්දු ආධුනිකයෙක්‌, ඒ වගේම ඔහු තරුණයෙක්‌. ඔහු පරිණත කෙනෙක්‌ නොවෙයි. ඔහු අඩුම තරමේ ප්‍රාදේශීය සභාවක්‌ වත් නියෝජනය කරලා නැහැ. ඔහු පළාත් සභාවට ඇවිත් තිබෙන්නේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ වෙන්න. මහ ඇමැති වෙන්න නොවෙයි ඔහු තරග කරන්නේ. ඉතින් මම විශ්වාස කරන්නේ මම පාර්ලිමේන්තුවෙනුත් ඉල්ලා අස්‌වී ආවේ වයඹ පළාත් ප්‍රධාන මහ ඇමැති ධුරයට තරග වදින්න. කවුරු අතර සටන් තිබුණත් අවසානයේදී සටන දිනන්නේ දයාසිරි ජයසේකරයි.

ප්‍රශ්නය - මේ වෙනකොට වයඹ පළාතට අවශ්‍ය වන්නේ කුමක්‌ද? මොනවගේ සංවර්ධන ව්‍යාපෘතිද අවශ්‍යවන්නේ ?

ප්‍රශ්නය - ඇත්තටම, ජනාධිපතිතුමා ගියවර අයවැයෙනුත් ඉදිරිපත් කළා පෞද්ගලික ව්‍යාපාරිකයන් සමාජ සුභ සාධනයට දායකවිය යුතුයි කියලා. එවැනි ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපෘති 300 ක්‌ වහාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙනවා. ඒ සඳහා අවශ්‍ය ස්‌ථාන, ක්‍රමවේද ලබාදීමට ක්‍රියාකරනවා. එම ව්‍යාපෘතිවලදී පළාතේ ආර්ථිකය වගේම සමාජ සංවර්ධනය, සංස්‌කෘතික හා ආගමික සංවර්ධනය ඇතිකිරීමටත් අපේ අවධානය යොමුවී තිබෙනවා. වයඹ පළාතේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාදීම සඳහා පළාත් සභාවෙන් ඉටුවිය යුතු සේවාව නොපිරිහෙලා ඉටුකරන ගමන්ම ග්‍රාමීය, නාගරික යටිතල පහසුකම් දියුණු කිරීමත් අත්‍යවශ්‍යයි. පළාතේ දියුණුවට වගේම සමස්‌තයක්‌ වශයෙන් රටේ දියුණුව උදෙසා ක්‍රියාකළ හැකි මානව සම්පතක්‌ ඇති කිරීම අපගේ අභිප්‍රායයි. විශේෂයෙන්ම වයඹ පළාතේ සියලුම පළාත් පාලන ආයතන තුළ යහපාලනය ඇතිකිරීම අවශ්‍යයි කියා අප හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා මා මූලිකත්වය අරගෙන ක්‍රියාකරනවා. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ගේ ජීවිත නඟා සිටුවීමට රාජ්‍යය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගය ලබාගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සේවා මධ්‍යස්‌ථානයක්‌ ඇතිකිරීමටත් අප බලාපොරොත්තුවෙන් සිටිනවා.

සාකච්ඡා කළේ - අකිත පෙරේරා

Gossip Lanka Hot News Previous News Archive