ශිරානිට රට යැම තහනම්

ජාතික සංවර්ධන බැංකුවේ (එන්. ඩී. බී.) පවත්වාගෙන ගිය ගිණුම් දෙකක තොරතුරු වසර තුනක්‌ හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් නඩු තුනකට අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියගේ විදෙස්‌ ගමන් තහනම් කළ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ලබන පෙබරවාරි 19 දා උසාවියේ පෙනී සිටින ලෙසට අවවාද කරමින් ඇය ඊයේ (16 දා) ඇප තැබීමකින් තොරව මුදාහැරියේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කැඳවූ අවස්‌ථාවේදී නිකුත් කර තිබූ නොතීසියකට අනුව කළු පැහැති සාරියකින් සැරසී අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අගවිනිසුරුවරිය විත්ති කූඩුවට නැග්ගාය.

නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදී හිටපු අගවිනිසුරුවරිය විත්ති කූඩුවට නැග සිටීම පිළිබඳව ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා කළ විමසුමකට පිළිතුරු දුන් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා "ඇයත් විත්තිකරුවෙක්‌නේ ස්‌වාමීනි..." යනුවෙන් කියා සිටියේය.


අවශ්‍ය නම් විත්ති කූඩුවෙන් බැස සිටින ලෙසත් නැතහොත් විත්ති කූඩුවේ අසුන් ගන්නා ලෙසත් ඉදිරිපත් වූ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බණ්‌ඩාරනායක මහත්මිය ඒ සම්බන්ධයෙන් දැක්‌වූ ප්‍රතිචාරයට විත්තිකූඩුවේ සිටම අධිකරණය වෙත සිය ස්‌තුතිය දක්‌වා සිටියාය.

පැමිණිල්ල විභාගයට ගත් අවස්‌ථාවේදී අල්ලස්‌ කොමිසමේ නීතිඥ සුභාෂිනී සිරිවර්ධන මහත්මිය සමග පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කරුණු දක්‌වමින් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස්‌ කොමිසම මගින් ගොනු කර ඇති චෝදනා කියවා දීමට නියමිතව තිබුණ ද ඊට පෙර පැමිණිල්ලේ සඳහන් බැංකු ගිණුම්වලට අදාළව පරිගණක සාක්‌කි මෙහෙයවීමට බලාපොරොත්තු වන බවත් එම සාක්‍ෂි මෙහෙයවීමෙන් අනතුරුව චෝදනා කියවා දීමට හැකි බවත් පෙන්වා දුන්නේය.

එහිදී හිටපු අගවිනිසුරුවරිය වෙනුවෙන් නීතිඥවරුන් පිරිසක්‌ සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා අධිකරණය අමතමින් සිය සේවාදායිකාවට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතාවක්‌ ගෙන එන බවත් ඇයට එරෙහි ගොනු කර ඇත්තේ රුපියල් දහසේ නඩුවක්‌ බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජික නීතිඥවරුන් පිරිසක්‌ සමග එක්‌වූ එහි සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්‌වමින් තමන් නඩු විභාගය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් එම අරමුණ ඇතිව නඩු විභාගයට එක්‌වන බවත් කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහෙස්‌ත්‍රාත්වරයා හිටපු අගවිනිසුරුවරිය ඇප මත මුදාහැරීමට පැමිණිල්ලෙන් විරුද්ධත්වයක්‌ ඇති දැයි කළ විමසීමට පිළිතුරු දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා ඇයට ඇප දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක්‌ නොමැති බවත් ඇගේ විදෙස්‌ ගමන් තහනම් කරන ලෙස ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා - රුපියල් දාහකට රට හැර යයි ද ස්‌වාමීනි?

හිටපු අගවිනිසුරුවරියට එරෙහි චෝදනා තමන් ඉදිරියේ විභාගයට ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක්‌ ඇත් දැයි ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරුන්ගෙන් විමසීමක්‌ කළේය.

ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා - නඩු විභාගය මේ අධිකරණයේ විභාගයට ගැනීම ගැන විරුද්ධත්වයක්‌ තියෙනවාද? ඒ ගැනත් දැන්ම කියන්න.

ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා - එයට විරුද්ධත්වයක්‌ නෑ ස්‌වාමීනි.

ඒ අනුව ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා කියවා දීමට පෙර පැමිණිල්ලේ දක්‌වා ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් සාක්‌කි මෙහෙයවීමට පැමිණිල්ලට අවසර ලබාදුන් මහෙස්‌ත්‍රාත්වරයා ඇගේ විදෙස්‌ ගමන් තහනම් කරමින් පැමිණිල්ල යළි කැඳවා ලබන පෙබරවාරි 19 දිනට පෙනී සිටින ලෙසට අවවාද කරමින් ඇප තැබීමකින් තොරව මුදාහරිනු ලැබුවේය.

වත්කම් බැරකම් ප්‍රකාශන කිරීමේ පනතට - අදාළ තැනැත්තියක වන කොළඹ 08, ලේක්‌ ඩ්‍රයිව්හි පදිංචි උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය 2010, 2011 හා 2012 යන වසරවලට අදාළව ජාතික සංවර්ධන බැංකුවේ කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ශාඛාවේ පවතින ජංගම ගිණුම් දෙකක තොරතුරු සිය වත්කම් බැරකම් ප්‍රකාශනයට ඇතුළත් කිරීම ඕනෑකමින් අත්හරිනු ලැබීමෙන් වරදක්‌ කර ඇති බවට චෝදනාවල සඳහන් වේ.

1975 අංක 1 දරණ වත්කම් බැරකම් ප්‍රකාශන පනතේ අංක 9 (අ) වගන්තිය යටතේ අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගිය ජුලි 29 දා හිටපු අගවිනිසුරුවරියට එරෙහිව වසර තුනකට අදාළව වෙන් වශයෙන් මෙහි චෝදනා පත්‍ර 03 ක්‌ ගොනු කර ඇත්තේය.

සිය ස්‌වාමියා හා පුත්‍රයා සමඟ අධිකරණය වෙත පැමිණි හිටපු අගවිනිසුරු බණ්‌ඩාරනායක මහත්මියව රැස්‌ව සිටි නීතිඥවරුන් පිරිසක්‌ පිවිසුම් දොරටුව අසලදී පිළිගෙන අධිකරණ ශාලාව වෙත පිරිවරින් රැගෙන එනු ලැබූහ.

Gossip Lanka Hot News Previous News Archive