ඡන්ද කටයුතුවලට බාධා කළහොත් ඡන්දය ශුන්‍යයි

උතුරේ ඡන්දයදීම සියයට 30-35 වයඹ සියයට 40, මැදරට සියයට 25 -30
අද දහවල් වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය දීම සියයට 30 -35ක් ද කුරුණෑගල හා පුත්තලමේ සියයට 40 ක් ද, මහනුවර සියයට 25ක් ද මාතලේ සියයට 20ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් බාර නිලධරයෝ කියති. උතුර, වයඹ හා මධ්‍යම පළාත් තුනේ යපහත් කාලගුණයක් පැවැති බව ද වාර්තාවෙයි. 
පුත්තලමේ සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට සාමාන්‍ය බාධා එල්ල වී නැතැයි දැන ගන්නට ඇත.වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභා මැතිවරණයේ දී ඡන්ද‍පොළ කටයුතු හෝ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි කටයුතුවලට බාධා කිරීමක් හෝ ඡන්දය කඩාකප්පල් කළහොත් එම ඡන්ද‍පොළෙහි ඡන්දය ශුන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර ඇත. 
 යම් ස්ථානාධිපතිවරයෙක් සිය ඡන්ද‍පොළෙහි කටයුතුවලට බාධා එල්ල වූ බවට තමන් වෙත පැමිණිලි කළහොත් එම ඡන්ද‍පොළෙහි ඡන්දය ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඡන්දය ශුන්‍ය කෙරෙන ඡන්ද මධ්‍යස්ථානවල වෙනත් දිනයකදී මැතිවරණය පැවැත්වෙනු ඇත.
නියමිත පැය 9 ක කාලයක් ඡන්ද‍පොළ පවත්වාගෙන යා නොහැකි බවට ඡන්ද ස්ථානාධිපතිවරයෙකු හෝ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයෙකු පැමිණිලි කළහොත් එම ඡන්ද‍පොළෙහි ඡන්දය කල්දමන බව ද කොමසාරිස්වරයා පැවසීය.
එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් එමගින් අවාසිය වන්නේ එම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ට බව පෙන්වා දුන් මැතිවරණ කොමසාරිස්වරයා, ඡන්දය ශුන්‍ය කළ ප්‍රදේශයේ මැතිවරණය යළි පවත්වා ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන තෙක් අපේක්ෂකයන්ට බලා සිටීමට සිදුවන බවද පෙන්වා දුන්නේය. තවද මැතිවරණය පැවැත්වීමෙන් දින හතක් යනතුරු පෙළපාළි රැස්වීම් පැවැත්විය නොහැකි බවද මැතිවරණ කාර්යාලය දැනුම්දී සිටියි.








Gossip Lanka Hot News Previous News Archive