බස්නාහිර පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රි කණ්ඩායම ඊයේ (24 ) එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින්, වික්‍රමසිංහ මහතා වහාම එ.ජා.ප. නායකත්වයෙන් ඉවත් විය යුතු යැයි යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ 'මව්බිම' පුවත්පත පවසයි.
එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ පුත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ශ්‍රීනාත් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ මේ යෝජනාව සියලුම මන්ත්‍රිවරුන්ගේ අනුමතයෙන් ඒකමතිකව සම්මත වී ඇතැයි ද එම පුවත්පත පවසයි.
එම පුවත්පත් වාර්තාවට අනුව, බස්නාහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රිවරු කිසිපදෙනෙක්ම වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අදහස් දක්වා ඇති අතර පක්‍ෂය සමඟිකොට ඉදිරියට ගෙනයෑමට හා පක්‍ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට වික්‍රමසිංහ මහතාගෙන් සිදුවන බාධක හිරිහැර ගැනද ඔවුහු කරුණු දක්වා තිබේ.
ලබන ඔක්තෝබර් මස 7 වැනි දින පැවැත්වීමට නියමිත එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වීමට විපක්‍ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා එහිදී ප්‍රතිඥාදී ඇතැයි ද 'මව්බිම' කියයි.