ළමයා ගන්න නම්; කාමරයකට යමුයි කීවා - කොට්ටාවේ ලිංගික අල්ලස් සිද්ධිය

විදුහල්පතිගෙන් බේරුණු මව කොමිසමට සියල්ල හෙළි කරයි
සිය දරුවා 2014 වර්ෂයේ පාසලට ඇතුළත් කැර ගැනීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි කොට්ටාව ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (06) නියම කෙළේය.

මෙසේ බන්ධනාගාර ගතකරනු ලැබුවේ කොට්ටාව ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළ මහනාම ගම්ගීගන ගමගේ ධර්මදාස නමැත්තාය. කොට්ටාව, පන්නිපිටිය පදිංචි මවක අල්ලස් කොමිසම වෙත ඉකුත් (05) වන දින කරනු ලබන පැමිණිල්ලකට අනුව කොමිසම මගින් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණ.

2014 වසර පළමු ශ්‍රේණිය සඳහා සිය දරුවා සම්බන්ධයෙන් අයැදුම් පත්‍රයක් කොට්ටාව ආනන්ද විද්‍යාලයට යොමු කළ බව පවසන පැමිණිලිකාරිය එහිදී සිය දරුවා තෝරාගත් බව සඳහන් කැර ලිපියක් නොලැබුණු බැවින් ඒ පිළිබඳව විදුහල්පතිවරයා හමු වී විමසූ බවට පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම අවස්ථාවේ මුණගැසුණු විදුහල්පතිවරයාගෙන් තමා මුදල් අවශ්‍ය ද යනුවෙන් විමසූ බවත්, මුදල් ප්‍රතික්‍ෂේප කළ විදුහල්පතිවරයා තමාගෙන් දුරකථන අංකය පමණක් ඉල්ලූ බවට ඇය සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කැර තිබිණ.

2014 වසරේ තෝරාගත් සිසු අයැදුම් පත්‍රවලට සිය අයැදුම්පත්‍රය ද ඇතුළත් කිරීමට නම් තමා සමඟ කාමරයකට පැමිණෙන ලෙසට සිය දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙමින් විදුහල්පතිවරයා පැවසූ බවට වැඩිදුරටත් පැමිණිල්ලේ සඳහන් වේ.

ඊට එකඟතාවය පළකළ පැමිණිලිකාරිය විදුහල්පතිවරයා සමඟ කතිකා කැරගත් ආකාරයටම ඉකුත් 5 වන දින වේරහැර රිසෝට් හෝටලයට පැමිණ ඇත. විදුහල්පතිවරයා කාමරයේ රඳවා පැමිණිලිකාරිය නාන කාමරය වෙත “වොෂ්” එකක් දාන්න පවසමින් ගොස් අල්ලස් කොමිසම වෙත දුරකථන ඇමැතුමක් ලබා දී නැවත විදුහල්පති හමුවට පැමිණ ඇත.

ඔවුන් දෙදෙනා හෝටල් කාමරය තුළ සිටියදී එහි පැමිණි අල්ලස් කොමිසමේ නිලධාරීන් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර විදුහල්පතිවරයා මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙළේය.
Principal Arrested Over Sexual Bribery

Gossip Lanka Hot News Previous News Archive