එජාපයට ඡන්දය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා සාධාරණ මැතිවරණ ක්‍රමය රැකගැනීමටයි

එජාපය වෙනුවෙන් ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ සියළු නීති විරෝධී ක්‍රියා මධ්‍යයේ හෙයින්, එම ඡන්දය එජාපය වෙනුවෙන් පමණක් නොව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමය රැකගැනීම සදහා ද ලබා දුන් ඡන්දයක් සේ සළකන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි. 
 ඒ නිසාම ඒ ඡන්දයේ වටිනාකම ඉතා ඉහළ බව විශ්වාස කරන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. 
පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඡන්දය ලබා දුන් ඡන්දදායකයන්ට ද, පක්‍ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු පාක්‍ෂිකයන්ට ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා, පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුට ද, සංවිධායකවරුන්ට ද අපගේ කෘතඥතා පූර්වක ආචාරය පළ කර සිටින බව එම නිවේදනයේ දැක්වේ. 
මෙම මැතිවරණය පුරාම රාජ්‍ය බලය අනිසි ලෙස යොදවා ගැනීම් පමණක් නොව මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් ද, ප්‍රචණ්ඩත්වය මුදා හැරීම් ද අතොරක් නැතිව සිදුවූ අතර මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ‘තමන්ගේ අත දිගු නැති’ බව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ම ප්‍රකාශ කළේ තත්ත්වය ඒ තරමටම බරපතළ බැවින් බව එම නිවේදනය මගින් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
ප්‍රජාතන්ත්‍රවාදය සුරකින, නිදහස් හා සාධාරණ සමාජයක් බිහි කිරීම සඳහා එජාපය ගෙන යන අරගලය සමග අත්වැල් බැඳ ගත් ජනතාවට නැවත වරක් අපගේ ස්තූතිය පළ කර සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Gossip Lanka Hot News Previous News Archive