ගොඩක් බලාපොරොත්තු ඉටුකරගන්න තියෙනවා - නදිනි

සිරස “සුපර් ස්ටාර්” තරගාවලියෙන් ගායන ක්ෂේත්‍රයට පැමිණි නදිනි ප්‍රේමදාස මේ වන විට සිංහල සංගීත ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන සිටින්නීය. එසේම නිවේදිකාවක ලෙස ඇය තම දස්කම් ප්‍රදර්ශනය කරන්නීය. පසුගියදා නිමාවට පත්වුණු රණවිරු රියල් ස්ටාර් Mission - III ගායනා තරගාවලියේ නිවේදිකාවක ලෙස කටයුතු කිරීමට ද නදිනිට අවස්ථාව උදාවිය. නදිනි ප්‍රේමදාස අප‍ගේ කලා කෙතට පායා එන තරුවක් ලෙස හැඳින්වීම නිවැරැදිය.

කොහොම ද ඔබ මේ දවස්වල කාර්යබහුල ද?

පසුගිය දවස්වල නම් ‘රණවිරු රියල් ස්ටාර්’ තරගය නිසා මම බොහොම කාර්යබහුල වුණා. මේ දිනවල නම් එතරම් කාර්ය බහුලත්වයක් නෑ. මේ දවස්වල ප්‍රසංග වේදිකාවල ගීත ගායනයට එක්වෙනවා.

මේ වන විට ඔබේම ගීත කීයක් විතර තිබෙනවා ද?

ගීත 20 කට අධික සංඛ්‍යාවක් තියෙනවා. එම ගීත අතරින් ගීත 10 කට පමණ රූප රචනා කරල තියෙනවා.

සුපර් ස්ටාර් තරගාවලියෙන් පසුව ඔබ සංගීත ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරත්වයක්. අනන්‍යතාවයක් ගොඩනඟා ගත්තා කියල හිතනව ද?


මම සහභාගි වුණේ සුපර් ස්ටාර් Season - 02 තරගාවලියට. එය අවසන් වෙලා දැන් අවුරුදු 06 ක් ගතවෙලා. එම තරගාවලියෙන් පසුව මගේම ගීත ගායනා කරමින් කිසියම් ස්ථාවරත්වයක් ගොඩනඟාගන්න මට හැකිවුණා කියල මම විශ්වාස කරනවා. මේ වන විට “සුපර් ස්ටාර් නදිනි ප්‍රේමදාස” කියන තත්ත්වයෙන් එහාට ගිහිල්ලා නදිනි ප්‍රේමදාස කියන ගායිකාව මතුකර ගන්න මට හැකිවුණා කියල මම විශ්වාස කරනවා. මට තියෙන්නේ බටහිර සංගීතයට උචිත කටහඬක්. ඒ ශෛලියෙන් කිසියම් දුරක් එන්න මට මේ වන විට හැකිවෙලා තියෙනවා. වර්තමානයේ රියැලිටි ගායනා තරගවලින් කොපමණ ගායන ශිල්පීන් ශිල්පිනියන් බිහිවුණත් ක්ෂේත්‍රයේ රැඳිල ඉන්න හැකියාව ලැබිල තියෙන්නේ කීපදෙනෙකුට පමණයි.

ඔබ සංගීතය විෂයක් ලෙස කොපමණ දුරට හදාරල තියෙනවා ද?

පාසලේදී මම වැඩියෙන්ම ආශා කළේ සංගීතය විෂයට. සාමාන්‍ය පෙළටත් උසස් පෙළටත් සංගීතය කළා. සුපර් ස්ටාර් තරගාවලියට පෙර මම සංගීතය හැදැරුවා. සංගීත විශාරද උපාධිය මම කළේ සනත් නන්දසිරි ගුරු පියාණන් යටතේ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා මම කළේ බටහිර සංගීතය විෂය. විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු මේ අවුරුද්දේ ඉවර වුණා. දැන් උපාධි ප්‍රදානෝත්සවය ළංවෙන තෙක් බලාගෙන ඉන්නවා.

සංගීත ගුරුවරියක් වෙන්න ද බලාපොරොත්තුව?

පුංචි කාලේ මගේ ආශාව වුණේ සංගීත ගුරුවරියක් වීම. ඒ නිසයි මම සංගීතය ඉගෙන ගත්තේ. ගුරු වෘත්තියට මම ආසයි. නමුත් දැන් නිරත වෙලා ඉන්න ක්ෂේත්‍ර අනුව මගේ අරමුණු වෙනස් වෙලා. බලාපොරොත්තු ගොඩක් තියෙනව ඉටුකරගන්න.

සුපර් ස්ටාර් තරගාවලියට සහභාගිවුණු කාලය ඔබට මතක ද?

අපොයි ඔව්. එය මගේ ජීවිතයේ සුන්දරම කාලය. ඒ කාලේ අපි මුහුණ දුන් සිදුවීම් පවුලේ අය එකතු වුණාම මතක් කරල සතුටු වෙනවා. ඒ කාලෙට ආයෙත් යන්න පුළුවන්නම් කොච්චර හොඳ ද කියල වෙලාවකට හිතෙනවා. අපි සුපර් ස්ටාර් තරගාවලියට සහභාගි වුණේ ආධුනිකයින් හැටියට. නමුත් අපිට ඒ දවස්වල සමාජයෙන් ලැබුණු ප්‍රතිචාර ගැන හිතාගන්නවත් බෑ.

ඔබ කොහොම ද නිවේදන කටයුතුවලට යොමු වුණේ?

මම මුලින්ම ඉදිරිපත් කළේ “සිරස සුපර් ස්ටාර් Chart Show” වැඩසටහන. ඉන් පසුව මම ස්වර්ණවාහිනියේ “ටැලන්ට් ශ්‍රී ලංකා” වැඩ සටහන ඉදිරිපත් කළා. ජාතික රූපවාහිනියෙත් වැඩසටහනක් ඉදිරිපත් කළා. ඉන් පසුව හිරු නාළිකාවේ Count down වැඩ සටහන මාස 7 ක් පමණ කළා. ඉන් පසුවයි “රණවිරු රියල් ස්ටාර්” වැඩසටහනට සම්බන්ධ වුණේ.

“රණවිරු රියල් ස්ටාර්” වැඩසටහන ඔබට මොන වගේ අත්දැකීමක් වුණා ද?

ඒක හරිම සුන්දර ආස්වාදජනක අත්දැකීමක්. කලා හැකියාවන් ගෙන් පිරිපුන්, රට බේරාගත් රණවිරුවන් සමඟ වැඩ කරන්න ලැබීම සුවිශේෂී අත්දැකීමක් වුණා. ඇතැම් විට ඉතාම සංවේදී අවස්ථාවන්ට මුහුණ දුන්නා. මට ඒ අවස්ථාව ලැබුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මෙන්ම ලක්ෂ්මන් හුලුගල්ල මහත්වරු නිසයි. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මෙම වැඩසටහනේ අවසන් මහා තරගය රූපවාහිනියෙන් විකාශය වුණේ සජීවීව. එහි නිවේදන කටයුතු කිරීම තරමක අභියෝගයක් වුණා. නමුත් ඒ අභියෝගය මම සාර්ථකව ජයගත්තා කියා සිතනවා.

දිගටම ඔබ නිවේදන කටයුතුවල යෙදෙනව ද?

මම නිවේදන කටයුතු කරන්න කැමැති සංගීතමය වැඩසටහන්වල පමණයි. එවැනි වැඩසටහනකට ආරාධනයක් ලැබුණොත් බාර ගන්නවා. හැබැයි නිවේදිකාවක් ලෙස ඉදිරියට යනවට වඩා මම කැමැති ගායනයෙන් ඉදිරියට යන්න.

ඔබේ සැමියා කවුද? ඔහු ඔබේ වැඩ කටයුතුවලට සහයෝගයක් ලබා දෙනවා ද?

මගේ සැමියා මධුර අබේසිංහ. ඔහු ව්‍යාපාරිකයෙක්. මගේ කලා කටයුතුවලට ඔහු විශාල සහයෝගයක් දක්වනවා. ඒ වගේම මධුරගේ පවුලේ උදවියත් එදා වගේම මගේ අම්මත් තාත්තත් මගේ කලා කටයුතුවලට විශාල සහයෝගයක් දක්වනවා.

රඟපෑමට ආරාධනයක් ලැබුණොත්...?

මීට කලකට පෙර රඟපෑමට මට ආරාධනා කීපයක්ම ලැබුණා. නමුත් මම ඒවා බාරගන්නේ නෑ. රංගනය පහසු දෙයක් නෙමෙයි. මම වඩාත්ම කැමැති ගායනයෙන් යමක් කරන්නයි.

ගාමිණී

Gossip Lanka Hot News Previous News Archive