වැසිකිළි දොරේ ජංගම දුරකථනය සූක්ෂම ලෙස රඳවා උපකාරක පංතිවලට පැමිණෙන සිසුවියන්ගේ නිරුවත් දර්ශන වීඩියෝ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම සිද්ධියට අදාළ නඩුව අද අනුරාධපුර අතිරේක මහේස්ත්රාත් චන්දිම එදිරිමාන්න මහතා ඉදිරියේ විභාගයට ගැනිණ.එහිදී මෙම ගුරුවරයා ඇප මත මුදාහරින ලෙස නීතීඥවරයෙකු දීර්ඝව කරුණු දක්වමින් ඉල්ලීමක් කළ ද අතිරේක මහේස්ත්රාත්වරයා එම ඉල්ලීම ප්රතික්ෂේප කර තිබේ.
අනුරාධපුර කොට්ඨාස විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ නිරුවත් දර්ශන විඩීයෝගත කළ දත්ත ඇතුළත් උපාංගය විශේෂ පරීක්ෂණ සඳහා කොළඹ විශේෂ පරීක්ෂණ ආයතනයකට යවා ඇති බවය.
එමෙන්ම සැකකරු පාසල් ගුරුවරයෙක් ද නැතිනම් පුද්ගලික උපකාරක පංති පමණක් පවත්වන ගුරුවරයෙකු ද යන්න පිළිබඳ ස්ථීර වශයෙන් සනාථ කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව ද අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණය හමුවේ පවසා තිබේ.
අදාළ කරුණු සලකා බැලු අනුරාධපුර අතිරේක මහේස්ත්රාත් චන්දිම එදිරිමාන්න මහතා සැකකාර ගුරුවරයා මේ මස 23 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.