දක්ෂ නිෙව්දිකාවක හා රංගන ශිල්පිනියක ලෙස අප හඳුනාගෙන සිටි මේධා ජයරත්න පිළිබඳ කිසිදු තොරතුරක් පසුගිය කාල වකවානුවේ දැනගන්නට ලැබුණේ නැහැ. වසර කිහිපයකට පසුව නැවතත් මේධා තම රසිකයන් අතරට පැමිණ සිටිනවා. මේධා ඇගේ නවතම තොරතුරු බෙදා හදාගන්නට එක්වුණේ කලකට පසුවයි.
ඔබ හිටි හැටියේම විදේශ ගතවුණා නේද?
හිටි හැටියේම නෙමෙයි. අපි විදේශ ගත වුණේ සැලසුම් කරලයි. හුඟක් දෙනෙක් හිතන්නේ මම හදිස්සියේම රට ගියා කියලයි. එහෙම නැහැ. මොකද මගේ මහත්තයා සුරංග ලක්මාල් සෙනෙවිරත්න ගේ උපාධිය සඳහායි අපි ගියේ. ඔහු එංගලන්තයේ දී ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ හැදෑරුවා. නමුත් අපිට වීසා ලැබෙනකම් අපි මේ ගැන හරියටම ස්ථිර කරන්න බැරි නිසා කිසිවෙකුටත් කිව්වේ නැහැ. විදේශ ගත වෙන්නට දින දෙක තුනකට කලින් අපිව රිය අනතුරකට ලක්වුණා. මේ නිසා අපේ විදේශ ගතවීමට වඩා රසිකයන් කතා කළේ අපි මුහුණ දුන් රිය අනතුර පිළිබඳවයි.
ඒ රිය අනතුර කුමක් ද?
දඹුල්ලේ දී අපේ මෝටර් රථය තවත් වාහන 5 ක ගැටුණා. එයින් දෙවියන්ට පින්සිද්ධ වෙන්න අපි කාටවත් අනතුරක් වුණේ නැහැ. ඒ සිදුවීම නම් තාමත් මතක් වෙනකොට හිතට බයක් දැනෙනවා.
ලංකාවට පැමිණ මේ දවස්වල ඔබ මොකද කරන්නෙ?

එංගලන්තයේ ගත කළ කාලය ඔබේ කලා දිවියට බලපෑවේ මොන විදිහට ද?
අපි එංගලන්තයේ වසර දෙකකට වැඩි කාලයක් ගත කළා. ඒ කාල සීමාවේදී අපි ලබපු අත්දැකීම් මොන විදිහකින්වත් ලංකාවේ ඉඳල ලබාගන්න බැරි දේවල්.
ඔබ එහිදී කලා නිර්මාණවලට දායක වුණේ නැත්ද?
හැකි සැම විටම කලා කටයුතුවලට දායක වුණා. මගේ සැමියා සුරංග එහිදී කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. මම එයට රංගනයෙන් දායක වුණා.
එයින් කතාබහට ලක්වුණේ කුමක් ගැන ද?
කෙටි චිත්‍රපටයේ නම ‘සංතෘෂ්ඨි'යි. එංගලන්තෙ කියන්නෙ ඇත්තටම සුන්දර රටක්. අපි හිතනවා එංගලන්තෙට ගියාම හොඳ සුන්දර ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. ඇත්තටම එංගලන්තයට ශිෂ්‍යයන් ලෙස ගිහිල්ලා ගෙවන ජීවිතය හරිම දුෂ්කරයි. ඒ අයට එහිදී ලොකු කට්ටක් කන්න වෙනවා. මේ ගැන කියවෙන චිත්‍රපටයක් එය.
මේ දවස්වල ඔබ නියැළෙන කලා කටයුතු මොන වගේ ද?
කලා නිර්මාණ රැසකටම ආරාධනා ලැබුණා. නමුත් මගේ පෞද්ගලික කාරණා නිසා ඒවා ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. අපේ පුතාට දැන් වයස 13 ක්. ඒ වගේම එංගලන්තයේ දී අපිට පුංචි දුවෙක් ලැබුණා. ඇයට දැන් මාස 7 යි.
තුෂාරි නේරංජා වික්‍රමසිංහ