තිසර පෙරේරාට එරෙහිව කිසිදු චෝදනාවක් නැ - ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය

අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවා දුන් බවට තිසර පෙරේරාට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නැතැයි ඉන්දීය පාලක මණ්ඩලය තමන්ට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 
සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවු දෙනකු අයිපීඑල් තරඟයක් පාවා දුන් බව ඉන්දීය ඔට්ටු අල්ලන්නෙකු මුම්බායි පොලිසියට දුන් කටඋත්තරයක සඳහන් වන්නේ යයි ඉන්දීය පුවත්පත්වල පළ වූ වාර්තා පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්, ශ්‍රී ලංකා පාලක මණ්ඩලය ඒ බව සඳහන් කරයි.
තිසර පෙරේරා, හනුමා විහාරි, කරන් ශර්මා සහ අශීෂ් රෙඩ්ඩි සමඟ එක්ව අයිපීඑල් තරඟයක් ඉන්දීය රුපියල් කෝටි හයකට පාවා දුන්නේ යයි කටඋත්තරයේ සඳහන් වන බව ඉන්දියාවේ ඩෙකාන් ක්‍රෝනිකල් පුවත්පත සඳහන් කළේය.
ඉන්දියාවේ අභ්‍යන්තර තරඟාවලියක් වන ඉන්දීය ප්‍රීමියර් ලීගය හා සම්බන්ධ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.
ඉන්දීය පාලක මණ්ඩලයේ දූෂණ-විරෝධී ඒකකය තිසර පෙරේරාට එරෙහි චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි.

Gossip Lanka Hot News Previous News Archive