ශ්‍රී ලංකාවේ බාල වයස්කාර විවාහ ඉහල නඟිමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිදරව් වී ඇත.
බාල වයසින් පාසල් හැර යන ළමුන් සංඛ්‍යාව හා ළමා විවාහ අතර ඍජු සබඳතාවක් ඇති බව පෙනී යන්නේ යැයි සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
හැත්තෑ එක් දෙනකු සම්බන්ධ කර ගනිමින් කළ අධ්‍යයනයේ දී එයින් සියයට තිහක් වයස දහ අටට පෙර ගැබ් ගෙන තිබූ බවද යුනිසෙෆ් පර්යේෂණ වාර්තාව සඳහන් කරයි. මඩකලපු ප්‍රදේශයේ දී සංදේශයට හමු වූ තරුණ මවක් ප්‍රකාශ කළේ ඇය වයස පහළොවේ දී විවාහ වූ බවයි.
''මට අවුරුදු පහළොවේ දී, දහඅටේ කෙනෙක් එක්ක පැනල ගිහින් වාකරේ ජීවත් වුනා.
අපේ තාත්තා අපට ගෙදර එන්න කිව්වා. අම්ම සවුදි ගිහින් පස්සේ වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා.''
2005දී විවාහ වන විට තමන්ගේ වයස අවුරුදු දා හතරක් බව තවත් මවක් පැවසුවේය.
“දැන් මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා, එදා ගත්ත තීරණය ගැන දැන් දුකයි. මගේ නිදහස නැති වුනා, මගෙත් එක්ක ඉස්කෝලේ ගිය අය තාම ඉගෙන ගන්නවා.” ඇය පවසන්නීය.
බාල වයස්කාර විවාහ ලියාපදිංචි කිරීම ලංකාවේ නීතිය අනුව තහනම් නමුත් වයස අවුරුදු දහසය හෝ ඊට වැඩි අයකුට කැමති කෙනෙකු සමඟ එකට ජීවත් විය හැකි බව නීතිවේදීනී අරුල්වානි සුදර්ශන් මහත්මිය ප්‍රකාශ කළාය.
පවුලේ ආර්ථික අග හිඟ කම් මෙම බාල වයස්කාර විවාහ සිදු වීමට බොහෝ සේ බලපා ඇති බව නැගෙනහිර පළාතේ ළමා ආරක්ෂණ නිලධාරීනි තුරෙයිරාජසිංහම් ජෙයශාන්ති මහත්මිය පැවසුවාය.
-බිබිසි සංදේශය-