අත් බැඳ කටට පාන්කඩ ඔබා සීයා ළදැරියට අතවර කරලා

අසල නිවෙසක පදිංචි 12 හැවිරිදි දැරියකට කඩයට ගොස් තමාට බුලත්, පුවක් ගෙනැවිත් දෙන ලෙස පවසා ඒ සඳහා මුදල් ලබා ගැනීමට නිවෙසට පැමිණි දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ 63 හැවිරිදි පුද්ගලයකු වැලිමඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස විනිසුරු එන්. ඩබ්ලිව්. ලංකාපුර මෙනවිය 31දා නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ වැලිමඩ නුගතලාව දිවුරුම්ගම පදිංචි 63 හැවිරිදි විවාහකයකු වන ආර්. ඩී. නෝනිස් නමැති සැකකරුය.සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වැලිමඩ පොලිසියේ පොලිස් සැරයන් එස්. ඒ. කුමාර (6081) මෙසේ පැවැසීය.

නෝනිස් සීයාට බුලත්, පුවක් ගෙන ඒමට යෑමට අවශ්‍ය බව දැරිය මවට පවසා මුදල් ලබා ගැනීමට සැකකරුගේ නිවෙසට ගිය විට අත්දෙක බැඳ කටට රෙදි පාන්කඩයක් ඔබා මෙලෙස අපයෝජනයට ලක්කර ඇත. දැරියගේ මව ටික වේලාවකින් සැකකරුගේ නිවෙසට ගොස් තම දියණිය පැමිණියාද යන්න විමසූ විට නොපැමිණි බවද පවසා ඇත. කටේ රෙදි ඔබා තිබූ නිසා ඒ අවස්ථාවේ දැරියට කතා කිරීමට නොහැකිව ඇත.


මව අසල වූ කඩයටද ගොස් දැරිය පැමිණියේද යන්න අසා එසේ නොමැති බව දැනගෙන නිවෙසට පැමිණෙන විට දැරිය හඬමින් සිට මවට සිද්ධිය පවසා ඇත. මෙම සිද්ධිය සිදුවන විට සැකකරුගේ බිරිය නිවෙසේ නොසිට ඇති අතර ඇය ඥාති නිවෙසකට ගොස් සිට ඇති බවත්, අදාළ දැරියගේ මව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිස් සැරයන් එස්. ඒ. කුමාර (6081) පැවැසීය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය සැකකරු ලබන 9 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට නියෝග කළාය.

Gossip Lanka Hot News Previous News Archive