මේ කාලේ ආදරේ fb එකේ share වෙනවා - Sandamali Fonseka

සමනලී මේ දවස්වල වැඩිපුර දකින්න ලැබෙන්නෙ තාරුණ්‍යයත් එක්ක බැඳිච්ච නිර්මාණවලින්?
ලංකාවෙ බහුතරයක් නිර්මාණවලින් තාරුණ්‍යය ගැන කතා කරනව කියල තමයි කියන්නෙ. ඒත් ඇත්තටම එහෙමද කියල ප්‍රශ්නයක් තියෙනවා.

ඇයි එහෙම කියන්නෙ?
තරුණ ගැහැනු ළමයි පිරිමි ළමයි හිටියට තාරුණ්‍යය කියන්නෙ ඒකද? පැය බාගයකට ප්‍රේක්‍ෂකයන්ව බොරු පැන්ටසියක තියෙනවා විතරයි. තරුණ්‍යයේ ඇත්ත ඒක නෙවෙයි.

එහෙමනම් මොකක්ද?
තාරුණ්‍යයේ හැඟීම් දැනීම් වෙනස්. ඔය තියෙන ඒවා හුදු මන--කල්පිත විතරයි. තරුණ ජීවිත ඇතුළෙ ඊට වඩා අරගලකාරී දේවල් සිද්ධ වෙනවා.

මොනවද ඒ දේවල්?
ජීවිතයේ සැබෑව. ඒ ඇත්තට බයයි. මෙච්චර කාලයක් අර බොරු පැන්ටසියක ඔබල හිටපු ප්‍රේක්‍ෂකයා ඒ ඇත්ත පිළිනොගනියි කියලා. ඒත් A/L ඉවරයි ඒ හිතලුව වෙනස් කළා.


ප්‍රේක්‍ෂකයාට ඒක දැනෙනවා කියල හිතනවාද?
ඔව්. A/L ඉවරයි. යටි පෙළ ප්‍රේක්‍ෂකයන්ට අහුවෙනවා. ඒත් මීඩියා එක බයයි මේක විකුණගන්නෙ කාටද කියලා. ඒත් මිනිස්සු වෙනසකට කැමැතියි. ඒ වුණත් දෙන දෙයක් බලනවා මිසක් තමන් කැමැති නාට්‍යයක් ඉල්ලල මිනිස්සු ලිප්ටන් වට රවුමෙ පෙළ ගැහෙන්නෙ නෑනෙ.
ඊට එහා දෙයක් තියෙනවා කියල මිනිස්සු හිතන්න දන්නෙනෑ. එහෙම පෙලඹවීමක් ඇති කරන අධ්‍යාපනයක් අපේ රටේ නෑ. ලංකාව කියන දූපත ඇතුළෙ අධ්‍යාපනය හරිම හිඟයි.

ඒ හිඟකම ඔයා වටහාගෙන තියෙන්නෙ මොන විදියටද?
අධ්‍යාපනය කියන්නෙ ඉස්කෝලෙන් දෙන දේ විතරක් නෙමෙයිනෙ. අම්මා තාත්තාගෙන්, අසල්වැසියන්ගෙන්, පෙම්වතා පෙම්වතියගෙන් පවා පොදුවේ මුළු සමාජය තුළින්ම මනුස්සයෙක් ලබන්නෙ අධ්‍යාපනයක්නෙ. ඒත් අපේ රටේ ඒ අධ්‍යාපනය කියන දේ මොකක්දෝ කඩතුරාවල්වල හිරවෙලා.

ඒ මොනවගේ දේවල්ද?
ආගම, සංස්කෘතිය වගේ දේවල්.
ඔයා කොහොමද ඒ දේවල් තේරුම් අරගෙන තියෙන්නෙ?
ආගම කියන්නෙ ශිෂ්ටසම්පන්න මිනිස්සුන්ව පාලනය කරන දෙයක්නෙ. ඒත් අපේ රටේ පසුගාමී සීමාකම් එක්ක මිනිස්සුන්ව එතැන හිරකරලා. නැත්නම් වටලප්පමක් කන්න දීපු මනුස්සයට ගල් ගහයිද? සංස්කෘතිය කියන්නෙත් එක තැන පල්වෙන දෙයක් නෙවෙයිනෙ. වෙනස්වෙන දෙයක්.

ඔයා ඔය කියන්නෙ ඔය රාමුව ඇතුළෙ නිදහස කියන දෙයක් නැහැයි කියන එකද?
නිදහස! එහෙම නිදහසක් කියල දෙයක් අපේ රටේ තරුණ පරම්පරාවට කොහෙත්ම නෑ. තමන් කරන්න ඕනෑ තමන් කැමැති ආසම දේ මිසක් වෙනත් කෙනෙක් බලහත්කාරයෙන් පටවන දෙයක් නෙවෙයි. ඒකටත් නිදහසක් නෑ.

ඔයා කොහොමද එතැනින් මිදෙන්නෙ?
මම රඟපෑම කරන්නෙ ඒක මගේ Passion එක හින්ද. මගේ ආධ්‍යාත්මය ඉල්ලන දේ හින්ද. හැබැයි අපේ රට ඇතුළෙ ඒක ඉස්සරහට ගෙයන්න ක්‍රමයක් හදල නෑනෙ. විශ්වීය රංගනය උගන්වන තැනක් නෑ. එතැනින් තරුණයා පේල්.

ඔයා කොහොමද ඒකට මුහුණ දෙන්නෙ?
මම කලින් කිව්වා වගේ ඒක මගේ Passion එක හින්ද. මේ ඇතුළෙ ඉඳගෙන මට කරන්න පුළුවන් විප්ලවේ මං කරනවා. ඕනෑම කෙනෙක් දකින ජීවිතයක් සහ පෙන්නන ජීවිතයත් තියෙනවානෙ. ඒත් තමන් දැන ගන්න ඕනෑ මීට වඩා ජීවිතයත් තියෙනවා කියන එක.

ඔය වැරැද්ද කොතැනද?
ඉතිහාසයෙ. එදා ඉඳන් අපි අහුවෙලා. කොටින්ම කියනවා නම් අපි අහුවෙලා මචං කියල එහා පැත්තෙ කෙනාට කියන්න තරම්වත් වැටහීමක් නෑනෙ. ජීවිතේ මීට වඩා ලොකුයි කියල දැනෙන්නෙ නෑනෙ. මේ විදියට බලාගෙන යනකොට අපිත් පව්.

ප්‍රේමය ආදරය වගේ දේවල් ගැන මොකද හිතෙන්නෙ?
අද වෙනකොට ලංකාවෙ තාරුණ්‍යය ආදරය දකින්නෙ පේස් බුක් එක ඇතුළෙ ෂෙයාර් කරගන්න දෙයක් විදියට.

ඒ තුළ බැඳීම් කියන දේවල් තියෙන්න පුළුවන්ද?
බැඳීම් තියෙනවා. හැම මනුස්සයකුටම බැඳීම් නැතුව ජීවත් වෙන්න බෑ. ඒත් ඒවා තියෙන්නෙ කොතැනද, සමාජගත වෙන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. මිනිස්සු විදියට ශිෂ්ටාචාරගත වුණාට අපි ස්වභාව ධර්මයේ කෑලිනෙ.

පෞද්ගලිකව බැඳීම් කියන දේ ඔයා අර්ථකථනය කර ගන්නෙ කොහොමද?
බැඳීම් කියන දේ මමත් සොයමින් යන දෙයක්. ඒත් ඒක බොහොම සියුම් තැනක්. උපරිම තැනින් විඳින්න ඕන දෙයක්. ජීවිතේ විශාලයි. ඒත් අපේ මිනිසුන්ට ජීවිතේ පොඩියි. ටිකක් ඉගෙනගෙන මොකක් හරි රස්සාවක් හොයාගෙන විවාහවෙලා දරුවො හදාගෙන කුටුම්බගත වෙනවා. එච්චරයි. ඒත් ජීවිතේ කියන්නෙ ඒ තරම් පුංචි දෙයකට නෙවෙයි. මමත් විවාහක ගැහැනියක්. අර කලින් කිව්ව දේවල්ම තමයි අපේ රටේ විවාහය කියන දේ ඇතුළෙත් වැඩිපුර සිද්ධ වෙන්නෙ. කුටුම්බ ගතවීම විතරයි. ටෝල්ස්ටෝයි විවාහ වුණා. ළමයිනුත් හැදුවා. ඒත් එයා ලිව්වා. ජීවිතේ පිපිරෙන තැන, එතැන එයා හොයාගෙන ගියා. අපේ අය කුහකයි. එතැන හොයා යන්නෑ.

කලාව ඇතුළෙත් එහෙමද?
කලාව තුළ වුණත් එහෙමනෙ. මියුසික් පැත්තෙන් ගත්තත් දෙයක් නෑ. ඒගොල්ලො ඒ ගොල්ලන්ගෙ ජීවිත හදා ගන්නවා. අපි ඒ කරුමෙ විඳිනවා. සහාය අධ්‍යක්‍ෂවරු වෙලා හිටපු අය මෙගාවලදී අධ්‍යක්‍ෂවරුන් වෙනවා. එයා එයාගෙ ජීවිතේ හදාගන්නවා. කරුමෙකට ප්‍රේක්‍ෂකයා ඒගොල්ලන්ගෙ ජීවිතවල ඇරියස් එක විඳවනවා. ඔව්. ගැහැනිය සහ බිරිය කියන මනුස්සයා තේරුම් ගැනීමයි වැදගත්. එතෙන්දි අපි එකිනෙකා කෙරෙහි ඇති කර ගන්නා ගෞරවයත් එක්ක තමයි ඒ පැවැත්ම තියෙන්නෙ. මට ඒ දේ තියෙනවා.

ඔයා මේ විදියට හිතන්න පතන්න පටන් ගත්තෙ කොහොමද?
ජීවිතේ එක්තරා තැනකදී මං මාව අතික්‍රමණය කරන්න තීරණය කළා. මගේ ගෙදරින්, පරිසරයෙන්, සංස්කෘතියෙන් හදල දුන්න මම නෙවෙයි මට කියන්නෙ කියල මම හිතුවා. ඒ මම හොයාගෙන මම යන ගමන තමයි මේ.

ඔබ හොයන ඔයා මොනවගේ කෙනෙක් කියලද දැනට ඔයාට දැනිල තියෙන්නෙ.
මගේ ආධ්‍යාත්මය ඉල්ලන, මට දැනෙන මට අහුවෙන හොඳම දේ කරන කෙනෙක්.

අපේ නිළි රැජන මාලනී ෆොන්සේකා ඔයාගේ නැන්දා. මේ වේලාවෙ ඇය ගැනත් ඔයාගෙන් නොඅසාම බැහැ. කොහොමද ඔයා ඇයව දකින්නෙ.
මට ඇය ජීවිතය තරම්. ඇය ඇයව අතික්‍රමණය කළ ගැහැනියක්. ඇය ඇයගෙ Passion එක ඉහළින්ම පිළිගත් අති විශිෂ්ට ගැහැනියක්. මට මගේ ජීවිතයට ඇය එක්තරා පරමාදර්ශයක්. පෞද්ගලික ජීවිතය අත්විඳීමේදී පවා ඇය ඉතා ස්වාධීන ගැහැනියක් හැටියටයි මං දකින්නෙ.



ධම්මිකා අක්මීමන

Gossip Lanka Hot News Previous News Archive