කරු ජයසූරිය සමග සටනක් දීමට ගෝඨාභය රාජපක්ෂ එයි

ඉදිරියේ පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස එජාප හිටපු නියෝජ්‍ය නායක දේශමාන්‍ය කරු ජයසූරිය මහතා ඉදිරිපත් වුවහොත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය අනාවරණය කරයි. 

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මහ ඇමති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කිරීමේ සූදානමක් කලින් පැවතිය ද රාජපක්ෂ පවුලේ ගැටුමක් හේතුවෙන් එම අදහස මේවනවිට අත්හැර දමා ඇතයි ද එම එම වෙබ් අඩවියේ සඳහන් වේ.

බස්නාහිර පළාතට අයත් කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශයන් හි සන්ධානය දුර්වලව පැවතිය ද, කොළඹ නගර අංලකරණය තුලින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ලබා ගෙන ඇති ජනතා ආකර්ශණය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ තීරණයට එළඹ ඇති බව පවසන 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.  
කරූ ජයසූරිය මහතා එජාප මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් වුවහොත්, සන්ධානයේ සිංහල බෞද්ධ ඡන්ද පදනමට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට දේශපාලන විචාරයකයන් පලකරන අනාවැකි ජනාධිපතිවරයා බරපතල ලෙස සැලකිල්ලට ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇත. කරූ ජයසූරිය මහතා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාද සිංහල බෞද්ධ දැඩි මතධාරීන්ගේ විශ්වාසය දිනා ගත් පුද්ගලයන් වන අතර දෙදෙනාම හිටපු හමුදා නිලධාරීන් වේ. 

එසේම මොවුන් දෙදෙනා ම කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුන් වීම විශේෂත්වයකි. කරූ ජයසූරිය මහතාට බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි මහානායක භික්ෂූන් වහන්සේලා මෙන්ම සිංහල බෞද්ධ සංවිධාන රාශියක් ඉල්ලා ඇති නමුත්, ඔහු ඒ පිළිබඳව මේ දක්වා නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැත. ගෝඨාභය රාජපක්ෂ මහතා හරහා කොළඹ දිස්ත්‍රික්කය තුල විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන අනතුරුව ජාතික ලැයිස්තුවෙන් ඔහුව පාර්ලිමේන්තුවට ගැනීම කෙරෙහි ද ජනාධිපතිවරයා අවධානය යොමු කොට ඇත.''

Gossip Lanka Hot News Previous News Archive