ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් නිමල්කා ප්‍රනාන්දු මහත්මියට ඉතාමත් අවිනීත ලෙස අදහස් දැක්වී යයි විරෝධය පාමින්, පෙරේදා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට දී 'කාන්තා එකමුතුව' විසින් පැවැත්වූ උද්ඝෝෂණයට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එක්ව සිටියාය.
විරෝධතාවට සහභාගි වූ කාන්තාවන් පොලිසිය විසින් එම ස්ථානයෙන් පලවා හරිමින් විරෝධතාකරුවන් ඔසවා ගෙන සිටි සටන් පුවරු උදුරාගෙන කෑලි කෑලිවලට ඉරා දමන ලදී.
විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් පොලිසියට මුහුණ දෙමින් සටන් පාඨ දිගටම කියද්දී ජේයෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා විසින් කැඳවාගෙන එන ලද පොලිස් කාන්තා බළඇණිය සමඟ පොලිස් කොස්තාපල්වරුන් විසින් කාන්තා පිරිස පොලිස් අධිකාරිවරයා විසින් ඒ අසල පිහිටි බස් නැවතුම්පොළ දක්වා පන්නා දමන ලදී.
අනතුරුව එම පිරිස පොලිස් අධිකාරිවරයා කාන්තා පොලිස් බළඇණියේ සහයෝගය ඇතිව බෞද්ධාලෝක මාවත පාර මැදට එළවා දැමීය. කාන්තා එකමුතුවේ පිරිස බෞද්ධාලෝක මහපාර මැද සිට සටන් පාඨ කියමින් විරෝධතාව දැක්වූහ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිය වන මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය පස්වරු 4.40ට මහපාර මැදදී වාහනයෙන් බැස උද්ඝෝෂණයට සහභාගි වූවාය.
එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි හිටපු පළාත් සභා මන්ත්‍රි ශාන්තිනි කෝන්ගහගේ මහත්මියද පැමිණ උද්ඝෝෂණයට සහාභාගි වූවාය.
පොලිසිය විසින් වරින්වර කාන්තා පිරිස එළවා දැමූ ස්ථානවලදී සටන් පාඨ කියමින් සෙසු අයට අත්වැල ඇල්ලීමට සහාය වූයේ නීතිඥ නිමල්කා ප්‍රනාන්දු මහත්මියයි.
ඇය මුල් සටන් පාඨය කියනවිට ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ, ජානකී සිල්වා, සන්ධ්‍යා එක්නැලිගොඩ, ශාන්තිනි කෝන්ගහගේ, මෛත්‍රි වික්‍රමසිංහ ප්‍රධාන කාන්තාවෝ මහ හඩින් සටන් පාඨ කියද්දී, ගුවන් විදුලි සංස්ථාව තුළින් පැමිණි පිරිසක් 'හු' කියමින් කෑගසද්දී, පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල, ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.කේ.කේ.කේ. ප්‍රේ මදාස මහත්වරු ඇතුළු පොලිස් කාන්තා පිරිස විරෝධතාකරුවන් බුලර්ස් පටුමඟට එළවා දැමූහ.
එම ස්ථානයේදී ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය සටන් පාඨ කීම ආරම්භ කළාය.
පොලිසිය එම ස්ථානයටද පැමිණ බුලර්ස් පටුමඟේ සිට ජී.පී. මලලසේකර මාවත තෙක් කාන්තාවන් පිරිස පන්නා දැමීය.
ගුවන් විදුලි සංස්ථාවෙන් පැමිණි පිරිස හූ හඬ තබද්දී කාන්තා එකමුතුවේ පැමිණ සිටි අයද වරින්වර හූ කීහ.
ඒ අවස්ථාව වනවිට පාරේ රථ වාහන තදබදයක්ද ඇතිවිය.
එම ස්ථානය වෙත පැමිණි ප්‍රේමලාල් රණගල මහතා කාන්තා නියෝජිතවරියන් සමඟ සාකච්ඡා කළත් කාන්තාවෝ දිගින් දිගටම විරෝධතාව පළ කර සිටියහ.
හඩ්සන් සමරසිංහගේ සදාචාරය මොකද?
ජනතාවගේ රේඩියෝව වළපල්ලට නොදමනු
භාෂාවේ නිදහස හඩ්සන්ට විතරද?
ජනතාවගේ රේඩියෝවෙන් කුණු හරුප කියවීමද?
හඩ්සන්ගේ සදාචාරය මේකද?
ආදී සටන් පාඨ කියමින් කාන්තාවෝ විරෝධය පළ කළහ.