තරුෂි පෙරේරා. හැබැයි ඇය ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් දැන හඳුනන්නේ අමා නැතිනම් ලොක්කි විදිහට. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘මුතු පලස’ ටෙලි නාට්‍යයේ. ලොක්කි මේ දිනවල ‘මුතු පලස’ ටෙලි නාට්‍යයේ දීග යන්න සූදානම් වෙන අතරේ තරුෂි නම් පසුගිය දවසක සුබ මොහොතින් යුග දිවියට පිවිසුණා. ඒ සුමේධ තෙන්නකෝන් එක්ක.
පසුගිය දවස්වල ජීවිතේ අලුත් පිටුවකුත් පෙරලුවනේ.
විවාහ උත්සවය ඉවර වුණා. ඇත්තටම මමත් සුමේධත් ලොකු සැලැස්මක් කරලා මෙය කළේ නැහැ. බොහෝම ඉක්මනින් කළේ. ඉතිං මේ දවස්වල සියලු වැඩ කටයුතුවලින් ටිකක් ඈත්වෙලා නිදහසේ ඉන්නවා.
ඒ කියන්නේ දැන් මෙතැනින් පස්සේ රඟපෑම් කටයුතු ඉවරයි.
ටික කාලයකට හැමදේම නවත්වන්න ඕන කියලා හිතුණා. මොකද සුමේධත් ඔෆිස් යනවා, වේලාවට ගෙදර එනවා. ඉතිං ඒ අත්දැකීම මට දැනෙන්නේ දැන්. ස්වාමියා ළඟ ඉන්න ඕන බිරිය විදිහට. ඉතිං කාර්ය බහුල ජීවිතයක් ගෙවන්න මම කැමැති නැහැ.
විවාහයත් එක්කම කලා කටයුතුත් සීමා කරන එක හොඳයි කියල ද හිතන්නේ.
ඇත්තටම මම කලාවෙන් මුළුමනින්ම ඈත්වෙන්න අදහස් කරනවා නෙමෙයි. මම හිටිය මට්ටමෙන් නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මේ දවස්වල නම් මම නිදහසේම ඉන්නවා. අනෙක අද සෑහීමකට පත්වෙන්න පුළුවන් නිර්මාණත් නැහැ. අපි වුණත් චරිත ඇතුළේ කොටු වෙලා රංගනයෙන් ඉදිරියක් දකින්නත් බැහැනේ. අද රංගනය පිළිබඳ මොනවද වෙන්නේ කියලා අවබෝධයක් මට තියෙනවා. එහෙම එකේ නාට්‍ය දහයක එක දිගට වැඩ කළත් වැඩක් නෑනේ.
ඔය සිතුවිල්ල ආවේ විවාහයත් එක්ක ද?
නැහැ. කොහොමත් මගේ හිතේ තිබුණ දෙයක්. හැබැයි ඉතිං අපි මුහුකුරා යන්න, යන්න හැමදේම තේරුම් ගන්න පුළුවන් මනසක් හැදෙනවනේ. ඉස්සර පිටපතක් ලැබෙනවා. කියවන්න කාලයක් තිබුණා. අද වෙනකොට මේ හැමදේම නැතිවෙලා. අද ඔය තත්ත්වය නිසාම බොහෝම දෙනෙක් ටී. වී. එකෙන් ඈත්වෙලා ඉන්නේ. ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවම ඇත්තටම අපිට ලැජ්ජයි. මේ හැමදේම එක්ක පවුල් ජීවිතේට මුල් තැන දෙන එක හොඳයි.
ඔය විදිහට ‘මුතු පලසේ’ ලොක්කිට මොකද වෙන්නෙ.
අමා නැත්නම් ලොක්කිට ගොඩක් දෙනෙක් ආදරය කරනවා. පාර තොටේදී වුණත් බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරනවා. කතාව තුළ ලස්සන චරිතයක් මවලා තිබුණු නිසා මම ඒකට හැඩයක් එකතු කළා. කතාබහ කරන විදිහ ඒ හැම දේම මම නිර්මාණය කළා. ඉතිං ලොක්කිට ඉදිරියටත් ඒ විදිහටම රසිකයන් ආදරය කරයි. මොකද සිවගුරුනාදන් කියන්නේ ඉතාම හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහු තමාට ලැබෙන සම්පත්වලින් උපරීමය කරන්න උත්සාහ කරන අධ්‍යක්ෂවරයෙක්.
තරුෂි පුංචි තිරෙන් විරාමයක් ගන්නකොට සිනමාවෙන් නම් වැඩක් ගත්තේ නෑ කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්තටම මට මුලින්ම ආරාධනා ලැබෙන්නෙත් සිනමාවට. ඒ අතර ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් තිබුණා. හැබැයි ඒවා බාරගන්න බැරි හේතු තිබුණා. ඒ නිසා ඔය කියන කතාවේ සාධාරණයකුත් තියෙනවා.
ඇයි මොනව ද ඒ හේතු?
මෙහෙමනේ. කොහොමත් මම ඇඳුමේ ඉඳන් සැලකිලිමත් වෙන කෙනෙක්. ඉතිං මම මේ යන ගමන තුළ තියෙන්නේ වැදගත් ගමනක්. ඒ නිසා යම් යම් සීමා මා ඇතුළේ තිබුණා. ඒ නිසා මගෙන් අතහැරුණ නිර්මාණ ගැන තියෙන්නේ සතුටක් මිසක් පසුතැවීමක් නෙමෙයි.
ඒ කියන්නේ රඟපෑමක් ගැන වුණත් කාන්තාවක් දෙපාරක් හිතන්න ඕන.
ඔව්. මම හිතන්නේ මොන දේ කරන්නත් තමන්ගේ ආත්ම ගරුත්වය තියෙන්න ඕන.
හැබැයි පසුගිය කාලේ රංගන ශිල්පිනියන් ගැන ආව ආරංචි ගැන මොකද කියන්නේ.
ගැහැනු ළමයකුට හරියට ඉඳලා පෙන්නන්න පුළුවන් තැනක් තමයි කලා ක්ෂේත්‍රය. අපි හොඳට ඉන්නවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක කලාවට විතරක් දාලා කතා කරනවට මම නම් විරුද්ධයි. මොකද අද ඕනෑම රැකියාවක් කරන අය තුළ වුණත් ඔය හැමදේම වෙනවා. හැබැයි මුහුණ ප්‍රසිද්ධ නැහැනේ. ඒකයි ප්‍රශ්නේ. සමහර අය කලාව ගැනවත් දන්නේ නැහැ. ඉතිං ඒ අයගේ මානසික මට්ටම්, ඉගෙන ගෙන තියෙන මට්ටමත් එක්ක සිදුවෙන දේවල් තියෙනවා. ඒවා අප්‍රසන්න, දේවල් වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා.
ඔබ රඟපාන නාට්‍යයෙත් මේ ගැන කතා කරනවනේ.
‘මුතු පලස’ නාට්‍යය ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරනවා. විවිධ මත පළ වෙනවා මමත් දැක්කා. මෙහි අසීමිත ආසාවන් එක්ක ගැහැනු ළමයකු යන්න හදන දුර ගැන කතා කරනවා. මම නම් කියන්නේ මේ දේවල් කතා කළ යුතුයි.
හොඳයි දැන් ඔබේ ව්‍යාපාර කටයුතුත් මඟ ඇණහිටල ද?
තාවකාලිකව යම් වෙනස්කම් සිදුවෙයි. මොකද ඕනෑම ස්වාමියෙක් කැමැතියි තමන්ගේ බිරිය එයා වෙනුවෙන් ඉන්නවට. ස්වාමියා අනුව බිරිය වෙනස් වෙන්න ඕන කියන තැන මම ඉන්නේ. අනෙක දැන් මගේ ලෝකේ සුමේධ. ඒ නිසා ව්‍යාපාර කටයුතු වුණත් අපි දෙන්නගේ මැදිහත් වීමෙන් සිදුවෙයි.
ඉදිරියට මොන වගේ බලාපොරොත්තු ද තියෙන්නේ කියලා අහන්න හිතෙනවා.
හැමදාමත් මට බලාපොරොත්තු තිබුණා. හැබැයි කාටවත් මම කියලා නැහැ. ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න තවදුරටත් මම හැදෑරීම් කරනවා. ඉගෙන ගන්නවා. මොකද මමත් කලාව තුළ හිටිය නිසා කරන දේ හරියට කරන්න ඕන.
ඔය නොකියා කියන්නේ නිර්මාණ කටයුත්තකට අතගහනවා කියන එකනේ.
(සිනාසෙයි) බලමු අපි. එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. මොකද මම ලියන්නත් ආසයි.
වසන්ත ජයසිංහ ආරච්චිගේ