පෝරුව මත රන් හුයකින් දෑඟිලි බැඳුණු දා පටන් ඔවුන් පෙරුම් පිරුවේ සැරයටියෙන් යනතුරා සංසාරෙත් එකට සිටීමටය.සිතූ පැතූ අයුරින්ම දිවි ගමනේ අසූ වැනි සැතපුම් කණුව පසු කර සැරයටියෙන් යනෙනතුරා ඔවුහු එක වහලක්යට වචනයකින්වත් සිත නොරිදවා ජීවත් වූවෝය. එතැනින් නොනැවතුණු ඔවුහු පාරමී පිරුවේ සංසාරෙන් සමුගන්නා දා ඒ ගමනත් එකට යාමටය.
දශක හයක අපූර්ව ආදර අන්දරයකින් බැඳී හුන් ඔවුන්ගේ දිවි ගමනද නිමා කරමින් හදවත් නතර වූ අයුරු පුදුම හිතෙන සුළුය. ඒ සැමියා මියගොස් දෙපැයක් ගත වන විට බිරියද සැමියා ගිය මගම තෝරාගත් බැවිනි. මේ කතාවේ චරිත දෙක වන්නේ රණතුංග ආරච්චිගේ සෝමවතී හා පතිරණ අතුකෝරලලාගේ සලමන් සිංඤෙය.
සලමන් සිංඤෙගේ ගම වේයන්ගොඩය. සෝමාවතී හුන්නේ වේයන්ගොඩට අල්ලපු වැටේ පිහිටි වඳුරවය. මීට හැට වසරකට පමණ ඉහතදී සලමන් සිංඤෙ වඳුරවට ගියේ සිය අනාගත මනාලිය දැකබලා ගැනීමේ චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කිරීමටය. එදා සෝමවතී ඉස්සෙල්ලාම තමා බලන්නට පැමිණි කඩවසම් තරුණයාට බහ දුන්නාය.
ඒ චන්න කින්නර ජාතකයේ දැක්වෙන පරිදි සංසාරය පුරා පාරමී පුරමින් පැමිණි කිඳුරා හා කිඳුරිය මෙනි. ටික දොහක් යන විට නෑසිය මිතුරන්ගේ ආසිරි මැද ජයට මඟුල් කෑ සලමන් සිංඤෙත් සෝමාවතීත් වේයන්ගොඩ, පත්තලගෙදර ධම්මානන්ද මාවතේ නිවසට ආහ. එම නිවසේ හිමිකරුවා සලමන් සිංඤෙය. සලමන් සිංඤෙ සේවය කළේ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේය. සැමියා රැකියාව කර නිවසට එනතුරා ගෙදර දොරේ සියලු වැඩකටයුතු බලා ගත්තේ සෝමවතීය. ඇය උදෙන්ම අවදි වී උයා පියා සැමියාට බත්මුල් බැඳ දුන්නාය. ගේ දොර අස්පස් කර පිළිවෙළකට තබා ගත්තාය. ඒ අතරේ දරුවන් අට දෙනාගේ වැඩ කටයුතු නොපිරිහෙලා ඉටු කළාය. දරුවන් අට දෙනාගෙන් පස් දෙනකුම දූවරුන්ය. දරුවන් මැද ඔවුන්ගේ කැදැල්‍ලේ පිරී ඉතිරි තිබුණේ සතුටය. සංසාරයේ පැතූ අයුරින්ම සලමන් සිංඤෙ හා සෝමවතී සෑම මොහොතේම හැම දේම කළේ ගසට පොත්ත මෙන් එකට බැඳීය.
“අපේ අම්මයි තාත්තයි ජීවත් වුණේ ගොඩක් සතුටින්. ඒ දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් කෑම නොකෑවොත් අනිත් කෙනා කෑම කන්නේ නැහැ. අපිට අම්මා පිඟානට බත් ටික බෙදලා දීලා අම්ම බත් ටික බෙදා ගෙන කන්න යන්නේ තාත්තා ඉන්න තැනට. තාත්තත් බත් පිඟාන අතේ තියන් අම්මා එනකල් බලන් ඉන්නවා. ඒ දෙන්නම කෑම කන්නේ එකට. පන්සල් ගියත් එකටයි. කඩයකට ගියත් එකටයි. දෙන්නා කොහේ ගියත් ගියේ එකටයි. කවදාවත් එයාලා තනියම කොහෙටවත් යන්නේ නැහැ. ඒ දෙන්නා කොහේ හරි ගමනක් ගිහින් එනකොට හැමදාම අම්මා තාත්තගේ අතින් අල්ලාගෙන ගෙට ගොඩකරවනවා. ඒක ඒ දෙන්නට එදා ඉඳලම පුරුද්දක් වෙලා තිබුණා. වයසට ගියත් ඔවුන්ගේ ආදරය වෙනුවෙන් එදා ඉඳන් පුරුදු වී තිබූ සිරිත් කවදාවත් වෙනස් වුණේ නෑ”. එසේ කියන්නේ සෝමවතී හා සලමන් සිංඤෙගේ බාල පුතා වන සම්පත් කුමාරය. හතළිස් හැවිරිදි වියේ පසුවන ඔහු පවසන්නේ තම දෙමාපියන් කිසිදු දිනක වචනයකින්වත් එකිනෙකාට හිත රිදෙන්නටවත් කතා නොකළ බවය.
අදහාගත නොහැකි කතාව වන්නේ දෙදෙනාගෙන් එක් අයෙකු රෝගී වුවහොත් එම රෝගය අනෙකාටද වැළඳීමය. මේ සිද්ධිය අපි ඔක්කොම පුදුමයට පත් කළා. අම්මයි තාත්තයි වයසට ගියාම ඉඳහිට ඔවුන්ට අසනීප වුණා. තාත්තා ලෙඩ වුණොත් අම්මාටත් ඒ ලෙඩේ හැදුනා. අම්මාට ලෙඩක් හැදුනොත් තාත්තටත් එක හැදුනා. බාල පුතු සම්පත් කුමාර කියන්නේය.
මේ අතර දෙසතියකට පමණ ඉහතදී සලමන් සිංඤෙට හෘදයාබාධයක් වැළඳුනේය. සිය සැමියාට හෘදයාබාධයක් වැළඳී ඇති බව දැනගත් සෝමවතීගේද හදවත රෝගී වූවාය. දරුවෝ වහාම මව්පියන් ආසන්නයේ පිහිටි වතුපිටිවල මූලික රෝහලට රැගෙන ගියහ. රන් හුයකින් බැඳි දා පටන් දිවි ගමනේ සියලු කටයුතු එකට කළ ඔවුන් දෙදෙනාට දෛවයේ පුදුමයකට මෙන් රෝහලේ සිටීමටද සිද්ධ වූයේද එකටය. සලමන් සිංඤෙ පිරිමි වාට්ටුවේ ප්‍රතිකාර ලබන විට සෝමවතී කාන්තා වාට්ටුවේ හුන්නද ඔවුන් දෙදෙනා හුන්නේ ආසන්නයේය. දූ දරුවෝ ඔවුන් දෙදෙනාටම තනි රැක්කෝය. එක කුස්සියේ එක වළඳක පිසෙන කෑමද රෝහලට ගෙනාවේද එකටය.
මේ අතර රෝගී තත්ත්වය සුව අතට හැරුණු බැවින් සලමන් සිංඤෝ ඉකුත් අට වැනිදාවේ ටිකට් කපාගෙන වේයන්ගොඩ නිවසට රැගෙන ආවේය. එනමුත් සෝමවතී හුන්නේ තවදුරටත් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ගනිමිනි. එතැන් සිට වූ අනුවේදනීය සිද්ධිය සම්පත් කුමාර විස්තර කළේ මෙසේය.
“තාත්ත ගෙදර එක්කන් ආවත් අම්මා රෝහලේ කියලා තාත්තා දැනගෙන හිටියේ නැහැ. තාත්තා වෙනදා පුරුද්දට මෙන් නිවසෙහි ඉදිරිපිට දොර ළඟ ටික වේලාවක් හිටගෙන හිටියේ අම්මා වෙනදා මෙන් තාත්තගේ අතින් අල්ලාගෙන ගේ තුළට එක්කගෙන යයි කියලා. ඒත් තාත්තා දැනගත්තා අම්මා නිවසෙහි නෑ කියලා. ඒ වේලාවේ තාත්ගේ මුහුණ අඳුරු වූ සැටි අපි දැක්කා. ඒත් තාත්තා බලාපොරොත්තු වුණේ අම්මාගේ මුහුණ බලන්න. ඒ බව දැනගත් අපි තාත්තා අල්ලගෙන ගේ තුළට එක්කන් ගියත් නිවසෙහි උළුඅස්ස පැන්නා විතරයි සුවය ලබා සිටි තාත්තාට අයෙත් පපුවේ අමාරුව හැදුනා. අපි තාත්ත නැවත රෝහලට රැගෙන ගියා. නමුත් ඔහු එදා සවස රෝහලේදී මියගියා” ඔහු කිවේය. තාත්තා මිය ගියා පුවත අම්මාට නොකීමට පවුලේ සියල්ලෝම පාහේ එකඟතාවකට ආවේ ඇගේ රෝගී තත්ත්වය ගැන සිතාය.
එනමුත් සිය සැමියාට නපුරක් වී ඇති බව ලෙඩ ඇඳේ සිටි සෝමවතී ඉවෙන් මෙන් දැන ගත්තාය. දශක හයක් දුකට සැපට දෙකේදීම අත නොහැරි සෙවණැල්ල මෙන් පසුපස හුන් සැමියාගේ වියෝවෙන් සෝමවතීගේ හදවත යළිඳු වරක් ලෙඩ වූවාය. ගත වූයේ මොහොතකි. ලෙඩ ඇඳේ හුන් ඈ දෙඅතින් ළය අල්ලා ගත්තාය. ළය බදාගෙන දඟලන්නට පටන් ගත් සෝමවතී වටා වෛද්‍යවරු වූහ. ඔවුන් කළ හැකි සියල්ල කළද සලමන් සිංඤෙ ගිය පාරේ යාමට සෝමවතී ගත් තීරණයේ කිසිදු වෙනසක් නොවීය. සැමියා මියගොස් දෙපැයක් ගත වීමට මත්තෙන් සෝමවතීද මරණයට පත් වූයේ සංසාර ගමන අතහරින දවසට ඒ ගමනත් එකට යාමට පැතූ පාරමිතාවද පුරමිනි. පැය කීපයක් ගත වන විට ඔවුන්ගේ මෘත දේහයන් වේයන්ගොඩ නිවසට රැගෙන එනු ලැබිය. ඔවුන්ගේ මෘත දේහයන් දෙකම තැන්පත් කෙරුණේ සාලයේ එකම තැනය.
ඉක්බිතිව ඔවුන් දෙදෙනාගේ අවසාන කටයුතු කෙරුණේද එකම තැනකදීය. ඒ අත්තනගල්ල, මල්වත්ත ආදාහනාගාරයේදීය. එනමුත් ප්‍රශ්නයක් තිබුණි. ඒ ආදාහනාගාරයේ එක වරකට ආදාහනය කෙරෙන්නේ එක මළ සිරුරක් පමණි. එම සිරුරේ අළු කොටස් ඉවත් කර පිරිසිදු කිරීමෙන් පසු ඊළඟට තිබෙන මළ සිරුර ගැස් කුටීරයට ඇතුළු කිරීම සාමාන්‍ය ක්‍රමයය. එනමුත් මේ අපූරු ජෝඩුවගේ ආදරය වෙනුවෙන් එම ක්‍රමය වෙනස් විය. සලමන් සිංඤෙගේ මළ සිරුර ආදාහනයට ගෑස් කුටීරයට ඇතුළු කෙරුණේ සවස හයටය.
එම සිරුර දවා අළු කිරීමෙන් ඉක්බිතිව එම අළු ඉවත් නොකරම සෝමවතීගේ මෘත දේහය රාත්‍රී අටට ආදාහනාගාරයේ ගෑස් කුටියට ඇතුළු කෙරුනි. ඇගේ සිරුර දැවෙද්දී දුම් කවුළුව දිගේ ඉහළට නැගුණු. දුම්රොටු, සලමන් සිංඤෙගේ සිරුර දැවෙද්දී වාතලයට මුසු වූ දුම්රොටු සොයමින් අඳුරේ ගිලුණු අහසේ ඒ මේ අත පාවී ගියේය. දෙපැයකට පසු දෙදෙනාගේම අළු එක කළයට එකතු කෙරුනි. ආදාහනාගාරයේ සේවකයෝ එම අළු මුට්ටිය වළ දැම්මේ සලමන් සිංඤෝගේ අවසාන කැමැත්තද ඉටු කරමිනි. ඒ තමා මිය ගිය පසු තම අළු ගඟේ මුහුදේ පාකර හරින්නට හෝ නිවසට රැගෙන නොයන ලෙස ඔහු කළ ඉල්ලීම ඉටුකරමිනි. සැබැවින්ම මේ කතාව සංසාරගත ආදරයක අරුමය කියාපාන අපූරු සිද්ධියකි. එය අපේ සමාජයට බොහෝ වටිනා ආදර්ශයක් වන්නේ මෙවැනි කතා දැන් බොහෝ විට අසන්නට ලැබෙන්නේ නවකතාවල පිටු අතරේ පමණක් වීම නිසාය.