මුඛයේ දුර්ගන්ධය බොහෝ දෙනෙක් අපහසුතාවට පත් කරන රෝගී ලක්ෂණයක්. තමන්ට නොදැනුණත් සමීප සිටින අයට දැනෙන මේ දුගඳ, මුඛයේ අපිරිසුදු බව නිසා මෙන් ම සිරුරේ ඇතිවන විවිධ රෝගාබාධයන් නිසා ද ඇතිවිය හැකියි. මුඛ දුර්ගන්ධය වළක්වා ගැනීම අප සිතන තරම් අසීරු ද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.
මුඛයෙන් දුගඳ හැමීම, එසේත් නැතිනම්, අපි කවුරුත් කියන විදිහට කට ගඳ ගැසීම රෝගයක් ද?
නෑ. කට ගඳ ගැසීම රෝග ලක්ෂණයක් පමණයි. සිරුරේ ඇතිවන විවිධ රෝග නිසා කෙනෙකුගේ මුඛයෙන් දුර්ගන්ධය වහනය වෙන්නට පුළුවන්. ඇතැම් විට එය ඔබට වැලඳී ඇති භයානක රෝගයක මුල්ම රෝග ලක්ෂණය වීමටත් පුළුවන්.
මුඛයෙන් දුගඳ හැමීමට ප්‍රධානම හේතුව කුමක් ද?
මුඛයේ අපිරිසුදු බව ප්‍රධානතම හේතුවයි. ඔබගේ දිව එළියට ඇද එය ඇඟිල්ලෙන් පිරිමදින්න. දැන් ඇඟිල්ල නාසයට ළංකර බලන්න. ඔබේ කටින් වහනය වන්නේ කවර ආකාරයේ දුර්ගන්ධයක්දැයි දැන් ඔබටම දැනගැනීමට හැකි වේවි. මුඛය, දිව නිතිපතා පිරිසුදු නොකරන අයගේ එසේ දැඩි දුර්ගන්ධයක් ඇතිවිය හැකියි.
මුඛය පිරිසුදු නොකිරීම නිසා දත් සහ විදුරු මස්වල ඉතිරි වන අපද්‍රව්‍යවල බැක්ටීරියා වර්ධනය වීමෙන් දුර්ගන්ධය ඇතිවනවාට අමතරව මුඛය සහ විදුරුමස තුවාල වී රුධිරය ගැලීමට ද පුළුවන්. ඒ හේතුවෙන්ම සැරව ගෙඩි හා, උගුර වණ වී සෙම් ගෙඩි සෑදීමටත් ඉඩ තිබෙනවා.
උදෑසන නින්දෙන් පිබිදුණ විට මුඛයෙන් දුර්ගන්ධය වහනය වීමත් රෝග ලක්ෂණයක් ද?
නෑ. එය බොහෝ දුරට ස්වභාවික තත්ත්වයක්. අවදිව සිටින විට අපේ මුඛයට ඛේට ග්‍රන්ථවලින් නිරතුරුවම කෙළ වහනය වෙනවා. එහෙත් නින්දට ගිය විට මුඛය තුළට කෙළ වෑහීම අවම වෙනවා. එසේත් නැතිනම් නතර වෙනවා. එවැනි අවස්ථාවක මුඛය තරමක් දුරට වියළී යන්නට පුළුවන්.
එවිට මුඛයේ බිත්තිවලින්, විදුරුමසින් සහ දිවෙන් ගැලවෙන ශ්ලේෂ්මල පටල මුඛය තුළ දී ම අපද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒ අපද්‍රව්‍යවලින් හටගන්නා දුර්ගන්ධය උදෑසන අප කාටත් දැනෙනවා.
ආහාර ගැනීමෙන් පසු දත් මැද, දිව පිරිසුදු කොට මුඛය හොඳින් සෝදා නින්දට යාමෙන් ඒ දුර්ගන්ධ තත්ත්වය අවම කර ගත හැකියි. ඒ වගේ ම නින්දෙන් පිබිදුණු වහාම දත් සහ දිව මැද පිරිසුදු කිරීමෙන් දුර්ගන්ධය පහකොට නැවුම් බවක් ඇතිකර ගත හැකියි.
කල් පවතින කැස්සෙන් පීඩා විඳින ඇතැම් වැඩිහිටියන්ගේ ප්‍රශ්වාස වාතය දුර්ගන්ධයෙන් යුතුයි. ඊට හේතුව කුමක් ද?
ඒ සඳහා බලපාන හේතු කිහිපයක් තිබිය හැකියි. පෙණහලුවල හටගන්නා සැරව ගෙඩි, කල් පවතින ශ්වාසනාළ සහ පෙණහලු ආසාදන, හා පෙණහලු පිළිකා ආදි තත්ත්වයන් ඊට හේතු වන්නට පුළුවන්.
ඒ වගේ ම පෙණහලුවල සිරවූ සෙම බැක්ටීරියා මඟින් ආසාදනය වීමෙන් ඇතිවන දුර්ගන්ධය ප්‍රශ්වාස වාතය සමඟ පිටවීමටත් පුළුවන්. එවැනි රෝගීන් කහින විට කහ පැහැති සැරව සහ රුධිරය පිටවීමට පවා ඉඩ තිබෙනවා. දීර්ඝ කාලීන ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් ඒ තත්ත්වය මඟ හරවා ගන්නට පුළුවන්.
පීනස් රෝගය සහ නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාවට ලක්වෙන ඇතැම් අයගේ නාසයෙන් දුර්ගන්ධයක් හමන්නේ ඇයි?
පීනස් රෝගය, වායු කෝඨර ආසාදනය, නාසයේ මස්දලු ඉදිමී ආසාදනය වීම, නාසය තුළ යම් ඇටයක් වැනි දෙයක් හිරවීම සහ සෙම් ගෙඩි ආසාදන වැනි තත්ත්ව නිසා කෙනකුගේ මුඛයෙන් දුගඳ එන්නට පුළුවන්. රාත්‍රී කාලයේ දී කටින් හුස්ම ගන්නා විට මුඛය ලෙහෙසියෙන් ම වියළී යාම නිසාත් දුර්ගන්ධය වැඩි වෙනවා. එවැනි තත්ත්වයක දී කෙනෙකුට රස සහ ගඳ සුවඳ දැනීම පවා අඩුවී යාමට පුළුවන්. රෝගයට නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් මේ තත්ත්වය මඟ හරවා ගත හැකියි. නාසයේ හිරවීමට හේතු වී ඇත්තේ අසාත්මිකතාවක් නම් ඒ සඳහාත් ප්‍රතිකාර ලබාගත හැකියි.
නාසයේ යමක් හිරවී ඇත්නම් හෝ මස්දලු තිබේ නම් ඒවා සුළු සැත්කමක් මඟින් ඉවත් කර ගත හැකියි. නිසි ප්‍රතිකාරවලට යොමු වුණොත් එවැනි රෝගීන්ට කටින් දුගඳ වහනය වීම වළක්වා ගන්නට පුළුවන්.
ආහාර මාර්ගයේ ඇතිවන ඇතැම් රෝග නිසා මුඛයෙන් දුර්ගන්ධයක් පිටවෙනවා කියන කතාව ඇත්ත ද?
ඔව්. ඛේට ග්‍රන්ථිවල හටගන්නා ආසාදන නිසාත් අමාශයේ ඇතිවන ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන් නිසාත් එවැනි අපහසුතා ඇති වෙන්නට පුළුවන්. ඛේට ග්‍රන්ථිවල ආසාදනයක් ඇති වුවහොත් ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඒ තත්ත්වය මඟ හරවා ගත හැකියි.
ආමාශය උදරය දෙසට නෙරීම නිසා ගලනාළයේ හටගන්නා හිරවීම්, පිළිකා වැනි රෝගී තත්ත්වයන් හීත් දුර්ගන්ධයක් වහනය වීමට ඉඩ තිබෙනවා. ආමාශයේ ආසාදනයක් තිබේ නම් ආහාර පාලනය අත්‍යවශ්‍යයි. කුඩා ආහාර වේල් ගැනීම හා ඇඟේ ස්ථුල බව අඩු කළ යුතුයි. ප්‍රතිකාර ලෙස ප්‍රතිඅම්ල ගත යුතුයි. හයටස් හර්නියා රෝගය සඳහා නිර්දේශ කරන ප්‍රතිඅම්ල ඖෂධවලින් රෝගය පාලනය නොවන්නේ නම් ශල්‍යකර්මයකින් ඒ තත්ත්වය මඟ හරවා ගත හැකියි.
කුඩා දරුවන්ට පණු බෙහෙත් ලබා දීම ප්‍රමාද වූ විට කටින් දුගඳ හමන බව ඇතැම් අම්මලාගේ විශ්වාසයයි. මෙහි සත්‍යතාවක් තිබෙනවා ද?
නෑ. පණු අමාරුව තිබෙන දරුවකුගේ මුඛයෙන් දුගඳ හැමීමක් සිදු වන්නේ නෑ. එය බොරු විශ්වාසයක්. එහෙත් පණු අමාරුව තිබෙන දරුවන්ට කැස්සක් ඇතිවිය
හැකියි. විශේෂයෙන් කොකු පණුවන්ගේ ජීවන චක්‍රයේ එක් අවස්ථාවක් (කීට අවස්ථාව) පෙණහලු හරහා ගමන් කරනවා. එවිට කැස්ස ඇතිවෙන්නට පුළුවන්. සමහර අය පණු කැස්ස නමින් හඳුන්වන්නේ එයයි.
ශරීරයේ ජල ප්‍රමාණය අඩු වීමත් මුඛයේ දුර්ගන්ධයට හේතුවක් ද?
ඔව්. යමෙකුගේ ශරීරයේ ජල ප්‍රමාණය අඩුවූවානම් විජලනය නිසා මුඛයේ දුර්ගන්ධයක් ඇතිවිය හැකියි. ඒ වගේම වකුගඩු අකර්මණ්‍ය වීම, දියවැඩියාව වැනි රෝගී තත්ත්ව කටින් දුගඳ හැමෙන්නට හේතු වෙනවා.
ගැස්ට්‍රයිටිස්, බඩ පිපුම වැනි තත්ත්වයන් කටේ දුර්ගන්ධයට හේතුවක් ද?
ඔව්. සමහර ගැස්ට්‍රයිටිස් රෝගීන් ඒ තත්ත්වය දැකිය හැකියි. නිතර නිතර උගුරට එන ස්වභාවයත් සමඟ ඒ දුර්ගන්ධය ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේ ම ලියුකේමියාව සහ වෙනත් රුධිර ගත රෝග ඇති අයගේ ද මුඛයෙන් දුගඳ හැමිය හැකියි.
සමහර රෝගාබාධයන්ට ගන්නා ඖෂධ හා මුඛ දුර්ගන්ධය අතර සම්බන්ධතාවක් තිබෙනවා ද?
ඔව්. සමහර ඖෂධ නිසා කටින් දුගඳ හැමීම ඇතිවිය හැකියි. සමහර චර්ම රෝගීන් භාවිත කරන ග්‍රිසියොෆුල්වින් (Grisiofulvin) හා හන්දිපත් කැක්කුමට ගන්නා පෙනිසිලමයින් (Penicilamine) නිසා මුඛ දුර්ගන්ධය ඇති වෙනවා. සමහර මානසික රෝගාබාධවලට ප්‍රතිකාර සේ ගන්නා ලිතියම් (Lithium) නම් ඖෂධවලත් එවැනි බලපෑමක් තිබිය හැකියි.
එවැනි ඖෂධ ගන්නා රෝගීන්ගේ කට ගඳ මඟ හරවා ගන්නට පිළියමක් තිබෙනවා ද?
ඔව්. එවැනි රෝගීන් තම වෛද්‍යවරයා හමු වී සාකච්ඡා කොට ඖෂධ මාත්‍රාව අඩු කර ගැනීමෙන් ඒ තත්ත්වය මඟ හරවා ගත හැකියි. එසේත් නැතිනම් වෙනත් ආදේශක ඖෂධයක් ලබා ගැනීමට පියවර ගැනීම ඊට හොඳම විසඳුමයි.
ඖෂධ නිසා තමන්ගේ කටේ දුර්ගන්ධය එන බව පවසමින් හිතුමතයට බෙහෙත් නවතා දැමීම නොකළ යුතු අතර ඒ සඳහා අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
සමහරුන් ගේ මුඛයේ දුර්ගන්ධයක් නැතත් එසේ ඇති බවට අසහනයෙන් පසුවෙනවා නේද?
තමන් ගැන එසේ අවතක්සේරුවට පත්ව සිටින අය අපේ සමාජයේ කොතෙකුත් දැකගත හැකියි. මේ අසහනකාරී බව තදබල ලෙස තිබෙන අය සමාජයට මුහුණ දෙන්නේ භීතිකාවකින්. සමහර විට අය විශාදය වැනි මානසික රෝගයක රෝග ලක්ෂණයක් ද වීමට පුළුවන්. එවැනි අය කළ යුතු හොඳම දේ මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ලබා ගැනීමයි.
මුඛය දෙපස වන වීම හා කට ගඳ අතර සම්බන්ධතාවක් තිබෙනවා ද?
මුඛය වන වූ පමණින් ඉන් දුර්ගන්ධයක් ඇතිවේ යැයි කිව නොහැකියි. එහෙත් ඒ තත්ත්වයට හේතුව විටමින් බී ඌණතාව විය හැකියි. දියවැඩියාවත් එක් හේතුවක්. නිතර නිතර බුලත් සැපීම නිසා ද කට වන වෙනවා. ඒ තුවාල ඉතාම අපිරිසුදු තත්ත්වයේ පැවතුණහොත් සමහර විට දුගඳක් වහනය වීමට ඉඩ තිබෙනවා.
සමහර කාලවල මුඛයේ ඇතිවන ඌෂ්ණ බිබිලි නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා නේද?
බටහිර වෙදකමේ දී ඌෂ්ණ බිබිලි පිළිබඳව විද්‍යාත්මකව යමක් කිව නොහැකියි. එහෙත් මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ වෛරස් ආසාදනයක් නිසයි. මානසික ආතතිය තවත් හේතුවක්. විශේෂයෙන් විභාග ආසන්නයේ පාසල් දරුවන්ට මේ විදිහට මුඛයේ තැනින් තැන තුවාල ඇති වෙනවා.
ඒවා සුව වනතුරු වේදනාව නිසා කට පිරිසුදු නොකර සිටීමෙන් බැක්ටීරියා ආසාදනය වී දුර්ගන්ධයක් ඇතිවිය හැකියි. ඒ තත්ත්වය පවතින්නේ තුවාල සුව වන තුරු පමණයි. කටේ ඇතිවන මෙවැනි තුවාල සඳහා ඖෂධීය ආලේපන වර්ග තිබෙනවා. නිර්වින්දන ද්‍රව්‍ය අඩංගු ආලේපන සහ සුදුසු දන්තාලේප භාවිතයෙන් ඉක්මන් සුවය ලද හැකියි. හොඳම දේ වෛද්‍ය උපදෙස් අනුව අදාළ ප්‍රතිකර්මවලට යොමු වීමයි.
වැඩිපුර පැණි රස කෑම ගන්නා අයගේ කටේ දුගඳ ඇතිවීමට වැඩි ඉඩක් තිබෙනවා ද?
ඔව්. සීනි සහිත ආහාර ගැනීම නිසා ඒවා දත් කුහර, විදුරුමස් අතර තැන්පත් වීමෙන්, ඒ මත බැක්ටීරියා වර්ධනය වෙනවා. විදුරු මස්, දත් හොඳින් පිරිසුදු නොකර සිටියොත් අනිවාර්යයෙන්ම ඉන් දුගඳ හමනවා. නිදසුනක් ලෙස භාජනයකට සීනි ටිකක් දමා තිබෙන්නට හරින්න. යම් කාල වේලාවක් ගිය පසු ඒ මත බැක්ටීරියා වැඩී දුගඳක් හමනවා ඔබට දැනේවි. අප ගන්නා සීනි සහිත ආහාර මුඛයේ රැඳීමෙන් සිදුවන්නේ ද මෙයයි.
මස් මාංශ වැනි සමහර ආහාර වර්ග ගැනීමත් මුඛයේ දුර්ගන්ධයට බලපානවා ද?
ඔව්. විශේෂයෙන් ම මස් මාංශ අනුභවයෙන් පසු කට හොඳින් පිරිසුදු නොකළොත් දත් අස්සේ සිරවුණු ආහාර කැබලි නරක් වීමෙන් දුගඳක් වහනය වීමට පුළුවන්. විශේෂයෙන් ම වාෂ්පශීලී මේද අම්ල සහ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාරපාන සිරුර තුළ දී වියෝජනයට ලක්වීමෙන් පසු හටගන්නා රසායනික ද්‍රව්‍ය වායුවක් ලෙස ප්‍රශ්වාස කරන විට මුඛයෙන් සහ නාසයෙන් පිටවිය හැකිය. දුම්පානය, මත්පැන් සහ සුදුලුනු ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි.
චුයිංගම් එකක්, බුලත් කොළයක් සැපීමෙන් කටේ දුගඳ නැතිවන බව බොහෝ දෙනෙක් සිතනවා. මෙහි සත්‍යතාවක් තිබෙනවා ද?
චුයිංගම්, බුලත් ආදිය සැපීමෙන් සිදු වන්නේ කටට කෙළ ඉනීමයි. මුඛයේ සිසිලසක්, නැවුම් බවක් ඇති වීමයි. එවිට දුර්ගන්ධයක් ඇතිවීමට ඇති ඉඩ අවමයි. මේවා භාවිතයෙහි නරකක් නොවුණත් සීනි සහිත චුයිංගම් භාවිතය නුසුදුසුයි. බුලත් සැපීමේ දී වුවද බුලත් හපය (රොඩ්ඩ) මුඛයේ රඳවාගෙන සිටියහොත් මුඛ පිළිකා ඇතිවිය හැකියි.
කට ගඳ ගැසීමට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි මුඛ දෝවන ඖෂධ ගැන සමහර අය කතා කරනවා. ඒවා භාවිතය හිතකර ද අහිතකර ද?
මුඛ දෝවන ඖෂධ ගැනීම වරදක් නොවෙයි. එවිට මුඛයේ නැවුම් බවක් පවත්වා ගත හැකියි. එහෙත් ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ මුඛයේ පිරිසුදු බවයි. විශේෂයෙන් දිව සහ විදුරු මස්වල පිරිසුදු බව. ප්‍රධාන ආහාර වේල්වලින් පසුව අඩුම තරමේ උදේට සහ රාත්‍රියටවත් හොඳින් මුඛය පිරිසුදු කරනවා නම් කටේ දුගඳ මඟ හරවා ගන්නට පුළුවන් අතරම මුඛ සෞඛ්‍ය ද ආරක්ෂා වෙනවා.
ශරීරයේ වෙනත් රෝගයක් නිසා ඒ තත්ත්වය ඇතිවනවා නම් ඒ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.
සාකච්ඡා කළේ - රමණි සුබසිංහ