බස්නාහිර-දකුණ සටනට මන්ත්‍රීධුර 155කට 3794ක් තරග වදිති - Polls on March 29

ඡන්දය මාර්තු 29 දා
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ මන්ත්‍රීධුර 155ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 81ක් ස්වාධීන කණ්ඩායම් 42ක් යටතේ අපේක්ෂකයන් 3794 දෙනකු තරග කිරීමට සුදුසුකම් ලබා තිබේ. මාර්තු මස 29දා පැවැත්වෙන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන පක්ෂයට පළාත් දෙකෙන් මන්ත්‍රීධුර දෙක බැගින් හිමි වීමට නියමිතයි.

ඊ‍ෙය් (6) දහවල් 12ට නිමා වූ නාමයෝජනා භාර ගැනීමේ කාල සීමාවේ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පළාත් දෙක සඳහා නාමයෝජනා භාර දී තිබූ අතර ඉන් නාමයෝජනා 6ක් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම් හතරක් හා කළුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාර දුන් ස්වාධීන කණ්ඩායමක හා අකිල ඉලංගෙයි මහජන කොන්ග්‍රසයේ නාමයෝජනා ප්‍රතික්ෂේප විය.

වැඩිම නාමයෝජනා සංඛ්‍යාවක් ලැබී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 33ක් නාමයෝජනා භාර දී තිබේ. අඩුම නාමයෝජනා සංඛ්‍යාවක් ලැබී ඇත්තේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වන අතර එම පක්ෂ නවයකින් හා ස්වාධීන කණ්ඩායම් හතරකින් නාමයෝජනා භාර දී ඇත. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර 40ක් සඳහා එජනිස සන්ධානය, එජාපය ඇතුළු ප්‍රධාන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 33 යටතේ අපේක්ෂකයන් 1247 දෙනෙක් තරග කරති. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර 40ක් සඳහා අපේක්ෂකයන් 946 දෙනෙක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 22ක් යටතේ තරග කිරීමට නියමිතය.


කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රිධුර 22ක් සඳහා අපේක්ෂකයන් 550 දෙනෙක් දේශපාලන පක්ෂ කණ්ඩායම් 22ක් යටතේ තරග කෙරේ.

දකුණු පළාත් සභාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර 22ක් සඳහා අපේක්ෂකයන් 450 දෙනෙක් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 18 යටතේ තරග කිරීමට නියමිතය. මාතර දිස්ත්‍රික්ක‍ය සඳහා මන්ත්‍රිධුර 20ක් සඳහා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 19ක් යටතේ අපේක්ෂකයන් 380 දෙනෙක් තරග කෙරේ. හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රිධුර 14ක් සඳහා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 13ක් යටතේ අපේක්ෂකයන් 221 දෙනෙක් තරග කිරීමට නියමිතය.




Gossip Lanka Hot News Previous News Archive