ලබන අඟහරුවාදාට (4) යෙදෙන ශ්‍රී ලංකාවේ හැටහය වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ‘එකමුතුව ගොඩනඟමු ලොව දිනන දේශයක්’ යන තේමාව යටතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගරයේදී අභිමානවත් ලෙසින් පැවැත්වෙයි.මේ සඳහා අවශ්‍ය සියලු විධි විධාන යොදා අවසාන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා සිළුමිණට පැවැසීය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙදින ජාතිය ඇමැතීමට නියමිතව ඇත්තේ පෙරවරු 9.15 ටය. එතුමාගේ ජාතිය ඇමැතීමෙන් අනතුරුව යුද හමුදාවේ 1400 ක්ද, නාවුක ගුවන් හමුදා සහ ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය යන අංශවල 1000 ක්ද ජාතික ශිෂ්‍යභට බළකායේ 325 ක් සහ යොවුන් සේනාංකයේ 300 යෞවන යෞවනියන් පිරිසක් ද ආචාර පෙළපාළියේ ගමන් කරනු ඇත.
නිදහස් සැමරුම් උත්සවයේ ඊළඟ වැදගත් අංශය වනුයේ සංස්කෘතික සංදර්ශනයයි. මේ සංදර්ශනයට පාසල් හා සංස්කෘතික මධ්‍යස්ථානවල සිසුහු සහභාගි වෙති. විවිධ අංශ 16 කින් සමන්විත මේ සංස්කෘතික සංදර්ශනය සමන්විත වෙයි.
මේ උත්සවයේ ජාතික ගීය ගායනා කිරීම කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 12 ක සිසු සිසුවියන් 110 දෙනකු විසින් සිදු කරනු ලැබේ.
මේ ජාතික දින නිදහස් උත්සවය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය ද, කථානායක චමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, අගවිනිසුරු මොහාන් පීරිස්, සබරගමුව ආණ්ඩුකාර වි. ජ. මු. ලොකු බණ්ඩාර, සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහත්වරු ද මැති ඇමැතිවරු සෙසු පළාත් ආණ්ඩුකාරවරු මහ ඇමැතිවරු, තානාපතිවරු ඇතුළු ආරාධිත සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වෙති.