නළු නිළියෝ දේශපාලනයට එන්නේ වළ ඉහගෙන කන්න - ධර්මසිරි බණ්ඩාරනායක
ඉස්සර නළු නිළියෝ කිව්වම හිටියේ දක්‍ෂතාව ඇති ආත්ම ගරුත්වයක් ඇති, සිනමාවට වේවා වේදිකාවට වේවා කැපවුණු, අවබෝධයක් ඇති, ඒ විෂය පිළිබඳ අධ්‍යයනයක යෙදුණු පිරිසක්. අද ඉන්න වැඩි දෙනෙක් මේ රූපවාහිනිය ඇතුළේ ස්ටාර්ස්ලා වෙච්ච අය. ඒ ගොල්ලො හිතන්නේ 'මුළුරටම අපිව දන්නවා' කියලා. මේ නළු නිළියො මෙහෙම හිතන්න පටන් ගත්තේ මේ දේශපාලනය තුළ ඇති වුණ විනාශයේ ප්‍රමාණය නිසා.
ඒකට උගත්කම ඕන නෑ. මිනිහකුට ගැහුවොත් චණ්ඩිකමක් කළොත් ඒක තමයි දේශපාලනයට තියෙන සුදුසුකම. ආපහු හැරිල බැලුවොත් පනස් ගණන්වල ලංකාවේ සම සමාජ ව්‍යාපාරය, කොමියුනිස්ට් ව්‍යාපාරය ඒ වගේම ඒ හිටිය බුද්ධිමතුන් උගතුන් වගේ අය අතේ තියෙන තමන්ගේ වස්තුව නැති කරගෙනයි දේශපාලනය කළේ. අද අය හිතන්නේ දේශපාලනය කරලා සියලුම දේවල් ලබා ගන්න පුළුවන් කියලා. නැති බලයක් ලබා ගන්න පුළුවන්. නැති ජනප්‍රියතාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වැඩිම මිනිස්සු සංඛ්‍යාවක් තමන්ගේ තුරුලට ගන්න පුළුවන්. මේ වගේ බංකොලොත් තැනකට දේශපාලනය ඇදගෙන වැටුණා.
ඒ වගේම මේ සියලුම අය මංකොල්ලකරුවෝ. කිසිම කෙනෙක් යහපත උදෙසා කැපවෙන්න ඕන කියන මතයෙන් ඉදිරිපත් වුණා කියලා මං හිතන්නෙ නෑ. මේක බඩගෝස්තරවාදයක්. නළු නිළියෝ ආවත් මොකා ආවත් මේ වෙලාව තමයි වළ ඉහගෙන කන්න පුළුවන් වෙලාව.
හිඟන්නකුට වුණත් පුළුවන් දේශපාලනයට එන්න. හැබැයි බලන්න ඕන ඔවුන්ට පුළුවන්ද මේකෙ වගකීම ගන්න. දැන් නළු නිළියෝ එනවානේ. රටක පොදු ජනතාවගේ ජීවිත සියල්ලම මේ පොළොවේ සම්පූර්ණ වගකීම ඔය කියන සුළුතරයක් පිරිස අතට පත් වෙනවා. එතකොට ඔය කියන සුළුතරය තමයි මේ රටේ ජන ජීවිතය ආර්ථිකය, අධ්‍යාපනය ආදී සියලුම දේවල් පාලනය කිරීමට පටන් ගන්නෙ.
ඒ නිසා වර්තමානයේ රට පාලනය කරන්න එන මිනිස්සුන්ගේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් මට තියෙනවා. හෙට අනිද්දා වෙද්දි ඕන තරම් අය ඇවිත් බඩ පිනුම් ගහන තත්ත්වයක් උදාවෙයි. දේශපාලනයත් මෙගා නාට්‍ය බවට පත් වෙලා. පාරේ ඉන්න බල්ලන්ටත් චුක් චුක් ගාලා කතා කරලා උනුත් රඟපානවා. මේ වෘත්තියේ ගරුත්වය මේ තරම් සරලද? මේ තරම් දියාරුද? රටක අනාගතය කියන එක, රටක දේශපාලනය කියන එක දරුවන්ගේ අධ්‍යාපනය, මිනිසුන්ගේ ජීවන තත්ත්වය මේ තරම් බාල්දු වෙලාද කියලා තමයි මම අහන්නෙ.
නළු නිළියෝ ආවත්, දේශපාලඥයෝ ආවත්, හොර අරක්කු පෙරන අය ආවත්, ගණිකා නිවාස හිමියෝ ආවත් දේශපාලනය කියන එක අද මඩගොහොරුවක් වෙලා තියෙන්නේ. ඒ නිසා මොකා ආවම අපිට මොකද කියලා හිතාගෙන බලාගෙන ඉන්නවා. මේ රට අගාධයට යන එක අපිට වළක්වන්න බෑ.
මිනිස්සු කුණුවලට ආසයි. කුණු රහට හරි ආසයි. ඉතින් මේගොල්ලො ළඟත් කුණුනේ තියෙන්නෙ. මේගොල්ලො ආවම කුණු පිරෙනවා. නළු නිළියන්ට කලින් හිටපු අය මේක කුණු ගොඩක් කරලා තියෙනවා. නළු නිළියෝ ආවම ඒ කුණු ගොඩට තව කුණු එකතු වෙනවා. එච්චරයි. රටට කිසි සුගතියක් වෙන්නෙ නෑ.
මම පෞද්ගලිකව විශ්වාස කරනවා ලෝකයේ පළමු නළුවා බිහිවෙන්නේ දේශපාලනය සහ ආගම කියන පසුබිම තුළ. කලාකරුවා කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ඒ මනුෂ්‍යයා තුළ දේශපාලන සත්ත්වයෙන් සිටිය යුතුමයි. ඒ නිසා කලාකරුවෙක් ඡන්ද අපේක්‍ෂකයෙක් හැටියට ඉදිරිපත්වීමේ කිසිම වරදක් මං දකින්නෙ නෑ. කවුරු හරි කියනවා නම් කලාකරුවන්ට දේශපාලනය කරන්න හොඳ නෑ කියලා මම නැවතත් ඔවුන්ගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා එහෙම නම් දේශපාලනය කිරීමේ අයිතිය තියෙන්නේ දේශපාලන පවුලක ඉපදුණු අයකුට පමණක්ද? හැබැයි ලංකාවේ කිනම් මාධ්‍යයකින් හෝ ජනප්‍රියතාවට පත් වුණු කෙනෙක් ඔහු ඡන්දය ඉල්ලනවා නම් ඔහුට සමාජය පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳ දේශපාලනයේ අනාගතය පිළිබඳ දැක්මක් තියෙන්න ඕන.
මං කතා කරන මේ මොහොතේ ලංකාවේ ජනප්‍රිය නිළියෝ දෙන්නෙක් සහ ජනප්‍රිය ගායිකාවකගේ නාම යෝජනා ප්‍රතික්‍ෂේප වුණා. ඒ නිසා කලාකරුවෙක් වීම කියන්නේ එකම සුදුසුකම නෙවෙයි. මම මුලින්ම ඉල්ලීමක් කරනවා ලංකාවේ දේශපාලනය කරන කලාකරුවන්ගෙන් මුලින්ම කලාකරුවා කියන කෙනාව හොයා ගන්න. ඊට පස්සේ කලාවෙන් කරන දෙයට වඩා දෙයක් දේශපාලනයට බැහැලා කරන්න පුළුවන් කියලා දැනුණොත් කලාව අත අරින්න.
සුදුසුකම් තියෙන්න ඕන. එක්කෝ දේශපාලනය කියන විෂය සම්බන්ධව එහෙමත් නැත්නම් නීතිඥ වෘත්තිය, සමාජ සුබසාධනය හෝ අඩුම තරමේ රංගනය පිළිබඳ හෝ විෂය දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ නළුවා හෝ නිළිය කියලා ඉදිරිපත් වෙන කෙනා තමන්ගේ විෂය පිළිබඳ හරි මනා දැනුමක්, උගත්කමක් තියෙනවා නම් දේශපාලනය කරන්න පිවිසුණාට කිසිම වරදක් නෑ. මම හිතන්නේ රටක දේශපාලනයට, රටක සේවයට එහෙම සුදුසුකම් තියෙන මිනිස්සු අවශ්‍යයි. අපි මේ වෙලාවේ හොයන්න ඕන මේ ඉදිරිපත් වෙන පිරිස තුළ ඒ සුදුසුකම තියෙනවද කියන එක. මේ ඉදිරිපත් වෙලා ඉන්න සියලු දෙනා සම්බන්ධයෙන් තියෙන ගැටලුව තමයි අඩුම තරමේ තමන්ගේ විෂය ගැනවත් පූර්ණ දැනුමක් තියෙනවද කියන එක. ඒ නිසා මම හිතන්නේ කලාකරුවා දේශපාලනයට පිවිසීම පිළිබඳ කිසිම ගැටලුවක් නෑ. නමුත් ඔහු සුදුසු විය යුතුයි. ඒ මූලික සුදුසුකම්වත් නැතිව දේශපාලනයට පිවිසෙන කලාකරුවන් ගැන ජනතාවට අයිතියක් තියෙනවා තීරණයක් ගන්න.
අතීතයේ මේ රටේ තිබුණ කතාවකින්ම කිව්වොත් මේ නළු නිළියන්ට පාලනය ගියොත් වඳුරට දැළි පිහිය ලැබුණ හා සමානයි. ජනතාවට දෙයියන්ගේ පිහිටයි. ඒ වගේම මේ වෙලාවේ මේ පාලන තන්ත්‍රය බලාපොරොත්තු වෙන්නෙ එහෙම විහිළුකාරයෝ කොටසක්. මොකද ඒ තුළින් ජනතාවගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න පුළුවන්. මේක ජනතාවගේ අවධානය වෙන දිශාවකට ගෙනයෑම සඳහා කරන උපක්‍රමයක්. ඒ නිසා ජනතාවගේ අවධානය වෙන අතකට ගෙන යෑමට දරන වෑයම පරාජය කළ යුතුයි.
රටේම ඛේදවාචකයක්. ඒ වගේම රටේ දේශපාලනඥයෝ මිනිසුන්ව කොයි තරම් හෑල්ලුවට අරගෙන තියෙනවද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඔය එන්නෙ නළු නිළියෝ නෙවෙයිනේ. කතා කරන දේවල්වලින් තේරෙනවනේ. මොළේ තියෙන මිනිස්සු ඉන්නවා නම් ඡන්දය නොදී ඉන්නයි ඕනේ. නමුත් මේ වගේ රටක ඉන්න මී හරක්ට කවදා මොළේ පෑදෙයිද? ඇත්තටම කියනවා නම් මිනිස්සු හරක්. අපේ රටට අනාගතයක් නෑ. කාගෙන කාගෙන ඇවිල්ලා මේ රට ඉවරයි දැන්.
ඔය ඉල්ලගෙන එන නළු නිළියන්ට පාලනය දුන්නොත් ගණිකා මඩමක් වෙයි මේ රට. වෙන මුකුත් වෙන්නෙ නෑ. මව් කිරි බිව්ව නිසා අපි නම් ඔය වගේ කරන්න බැරි දේවල් කරන්න එන්නෙ නෑ. ඒ වගේම අපි ඉස්කෝලෙකට ගිහින් තියෙනවා. දෙපාර තුන්පාර ඕලෙවල් ෆේල් වෙලා අනාථවෙලා ජීවත් වෙන්න විදියක් නැතිව රඟපාන්න ආවා නෙවෙයි.
කලාකරුවෝ දේශපාලනය නොකළ යුතුයි - සතිශ්චන්ද්‍ර එදිරිසිංහ
මම කලාකරුවෙක් හැටියට දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. ක්‍රියාකාරී දේශපාලනය කරන්න මම කැමැති නෑ. හැබැයි දේශපාලනඥයන් එක්ක සමාජ සේවා කටයුතු කරන්න කැමැතියි. ඒ විෂය පිළිබඳ තමන්ට ඇත්තටම මානව දයාවෙන් කටයුතු කරන්න හැකියාව සහ කැමැත්ත තියෙනවා නම් කිසියම් කලාකරුවෙක් දේශපාලනයට ආවට කමක් නෑ. හැබැයි පොදුවේ මගේ අදහස කලාකරුවන් දේශපාලනය නොකළ යුතුයි.
මොකද කලාකරුවා කියන කෙනා ඉන්නේ දේශපාලනයට ඉහළින්. කලාකරුවාට බෑ මතවාදයක හිරවෙලා ඉන්න. දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වුණ ගමන් එයා එයාගේ නායකයා කියන දේ කළ යුතුයි. නායකයා වැරැදි දෙයක් කිව්වොත් අත උස්සන්න ඕන. නිර්ව්‍යාජ කලාකරුවෙක් කොහොමද ආත්ම වංචනික දේශපානඥයෙක් වෙන්නෙ.
නළු නිළියෝ ගැන වගේම අනෙක් අය ගැනත් විශ්වාසයක් තියන්න එපා - ටෙනිසන් කුරේ
රටේ ජනතාවට සේවය කරන්න දේශපාලනේට එන්නම ඕන කියලා නීතියක් නෑ. මං දකින බොහෝ කලාකරුවෝ ඉන්නවා තමන්ගේ පෞද්ගලික දේපොළවලින් මිනිසුන්ට උදව් කරනවා. වහලක් නැති අයට වහලක් හදලා දෙනවා. ඒත් සමහරු දේශපාලනයට එන්නේ ලැබෙනවාට වඩා ලොකු මුදලක් දේශපාලනයෙන් ලැබෙන නිසා. ඒ මුදලෙන් ලොකු සේවයක් කරන්න හිතන නිසා වෙන්න ඇති. කොච්චර ජනතාවට ආදරේද කියනවා නම් සමහරු ජනතාවට සේවය කරන්න මිනී මරනවා මං දැකලා තියෙනවා.
එහෙම බලය ගන්නෙ මොකටද? නළු නිළියෝ බුරුතුපිටින් එනවා. මං නම් කියන්නේ දේශපාලනයට එන ඔක්කොම නළුවෝ. ඒ නිසා නළු නිළියෝ නෙවෙයි කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ? හැමෝම එන්නේ රඟපාලා, ජනතාව රවට්ටලා ගොනාට අන්දලා යන්න. නළු නිළියන් නාට්‍යවල සටන් කරලා දිනනවා වගේ ඇත්තම ජීවිතෙත් සටන් කරයි කියලා මිනිස්සු බලාගෙනම ඉන්නවා.