මුල් කාලීන සංගීතයේ පිබිදීම පිළිබඳව මුලින්ම කතා කළොත්?
ඇත්තටම මුල්කාලීන සංගීතය කියලා කියන්නේ 60 දශකයේ ආරම්භය. මේ කාලේ ලංකාවේ සංගීතය ප්‍රබලව වර්ධනය වූ වකවානුවක් නොවේ.
එයට විශේෂ හේතුවක් තිබුණාද?
ලංකාවේ ඒ වෙන විට තිබුණේ රජයේ ගුවන්විදුලි නාළිකාව. ඒ හරහා ස්වදේශීය සේවය සහ වෙළෙඳ සේවය ක්‍රියාත්මක වුණා. ස්වදේශීය සේවය තුළින් ලාංකේය සංගීතයට පොඩි ඉඩක් වෙන් වුණා. නමුත් වෙළෙඳ සේවය තුළ ක්‍රියාත්මක වුණේ හින්දි ගීත පමණයි. එහෙමත් නැත්නම් හින්දි ගී තනු කොපිකර නිර්මාණය කළ සිංහල ගීත පමණයි.
මේ තත්ත්වය වෙනස් වුණේ මොන වකවානුව තුළද?
70 - 80 දශකවලදී මෙරට සංගීතයට හොඳ තැනක් ලැබුණා. ගුවන්විදුලි අනුකාරක සභාවට පත්වෙලා ආවා. රිජ්වේ තිලකරත්න මහතා මෙරට සංගීතයට ගුවන්විදුලි මාධ්‍ය තුළින් ඉටුවිය යුතු උපරිමය සිදු කළා.
එකල සංගීතය නඟා සිටුවන්නට යම් වැඩපිළිවෙළක් තිබුණද?
මම, වික්ටර්, මාලනි, ෂෙල්ටන් ආදී වාගේ නිර්මාණකරුවන්ට ගුවන්විදුලිය හරහා විශාල අවස්ථාවක් ලැබුණා. ඒ කාලේ ගී තැටිවලට අපේ ගීත ෙදාළහක් පමණ අඩංගු කරලා අසන්නන්ට ප්‍රදානය කළා. එතැනින් උත්සාහ කළේ ලාභ ලැබීම නොවේ. හොඳ දේ සමාජගත කිරීම. ඒ කාලේ අද වගේ රේඩියෝ අහනවා නම් සල්ලි දෙනවා කියන්න ඕන වුණේ නැහැ. හොඳ දේ විතරක් දුන්න නිසා ජනතාව ගුවන් විදුලිය වැලඳ ගත්තා. සල්ලි දීලා බලෙන් අස්සවන්න ඕන වුණේ නැහැ.
වර්තමානයේ ගීතය තුළ සංගීතය කියන දේ තියෙනවද?
නැහැ. නමුත් දැන් සංගීතය කරන එක හරි ලේසියි. දැන් කරන්නේ අනුකාරක ගීත කොපි කරලා, බටහිර තනු අරගෙන ගීත කරන එක. ඒ සියල්ල බටහිර පැත්තට නැඹුරුයි. එතැනින් සංගීතය කියන දේ පෙනෙන්නේ නැහැ. පෙර පිනකට සින්දු කියන්න පුළුවන් වෙලා ඉපදුණ පළියට හැමෝටම සංගීතය කරන්න බැහැ. ඒක කලාවක්.
නමුත් ඔවුන් එකහෙළාම ප්‍රකාශ කරනවා ඔවුන්ට රසික පිරිසක් සිටින බවට?
ඔව්. ඒක ඇත්ත. ඔවුන්ට රසික පිරිසක් ඉන්නවා. සුභාවිත සංගීතය කියන දේ අවබෝධ කරගන්න පුළුවන් 20%කට වගේ පොඩි
ප්‍රමාණයකට. ඉතිරි 80%ක පිරිසට ඒ හැකියාව නෑ. අන්න ඒ පිරිස ඔවුනට ඉන්නවා රසවින්දනය, හැකියාව සීමිතයි. චිත්‍රයක වුණත් ඇඳලා තියෙන්නේ කුමක්ද? කියන්න උත්සාහ දරන්නේ කුමක්ද? කියන එක අඳුනගන්න පුළුවන් චිත්‍ර කලාව ගැන අවබෝධයක් තියෙන අයට විතරයි. ඒත් ඒ චිත්‍ර තුළ තියෙන රතුපාට, කහපාට, කොළපාට අඳුන ගන්න පොඩි දරුවකුට වුණත් පුළුවන්. සංගීතය ගැන තියෙන අවබෝධයත් ඒ වගේ.
තරුණ ගායකයන් අතර මතයක් තිබෙනවා ප්‍රවීණයන්ගේ ගීත ජනප්‍රිය තලයේ නැති වීමට හේතුව ඔවුන් ඒ ගීත මාකට් කරන්නේ නැතිවීම කියලා. ඒ ගැන ඔබතුමා දරන මතට කුමක්ද?
ගායනය කියන දේ පරමාර්ථ දෙකක් තියෙනවා. පළමු වැනි දේ ආත්මතෘප්තිය. දෙවැන්න රසිකයාට උපරිම වින්දනයක් ලබාදීම. ඒක මුදලට කරන්න බැහැ. සංගීත කලාවට ගෞරවයක්, වගකීමක් තියෙන්න ඕන. අම්මා, තාත්තා විකුණගෙන කන්න බෑ වගේම සංගීතය කියන දේත්, කලාව කියන දේත් විකුණගෙන කන්න බැහැ. කලාව, සංගීතය ඒ තරම් උතුම් දෙයක්. පිරිසුදු දෙයක්. ප්‍රවීණ සංගීතවේදියකුට එහෙම කරනවා තියා හිතන්නවත් බැහැ.
මේ පිරිසම කියනවා ප්‍රවීණයන්, නවකයනට චෝදනා කරනවා විතරයි. තමන්ගේ නිර්මාණ කලඑළියට ගෙනයන වැඩපිළිවෙළක් නැහැ කියලා.
අපි හැමදාම හොඳ නිර්මාණ කළා. ජනතාව ඒවා වැලඳ ගත්තා. ඒ හැරෙන්න වැඩපිළිවෙළක් අවශ්‍ය නැහැ. නිර්මාණ කරන්නේ කලාවට සේවයක් කරන්න අවශ්‍ය නිසා මිසක ඒ කලා කෘතියට ගිය වියදම හොයාගන්න නෙවේ.
ඔව්. එය සංගීතයට කරපු විශාල අපරාධයක්. ඉස්සර කලාකරු පිටුපස ව්‍යාපාරිකයා ආවා. ටොරානා, තරංගා, සින්ග් ලංකා කියන ආයතන. එදා අපේ ගීතවලින් කැසට් කළා. නමුත් අපට මුදලක් දුන්නා. අද අපි ගීතය කරල තැටිගත කරන ඇසිල්ලෙන් ඒ ගී තැටිය පිටකොටුවේ දාලා කුණු කොල්ලෙට විකුණනවා.
ඔබටත් එවන් අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවුණාද?
ඔව්. මගේ අන්තිම ගී තැටිය වන "ඔබ මලක් වෙලා" ගී තැටිය මහජන පුස්තකාලේ පුංචි උත්සවයක් තියලා එළිදැක්වූවා. මේ ගී තැටිය රුපියල් පන්සිය පනහක මිල යොදලා විකුණගන්න දාලා සියලු කටයුතු සකස් කරලා අවසාන වෙද්දී අපට ආරංචි වුණා මාතර ඒ තැටියම රුපියල් සීයට විකුණලත් ඉවරයි කියලා.
මෙම අසාධාරණය නවත්වන්න යම් වැඩපිළිවෙළක් තිබෙනවද?
අපට නීති තිබෙනවා. නමුත් හරියාකාරව ක්‍රියාත්මක වීමක් දකින්න නැහැ. ඒ දේවල්වලට නීති ක්‍රියාත්මක කරලා වැඩක් නැහැ. මිනිසුන්ගේ හදවතට සංගීතය වටිනාකම හැඟෙන්න ඕන. අනෙක් අතට එවැනි වංචනිකයන් නීතියට හසුවුණාම අඩුම තරමේ රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහාත් ඒ පිළිබඳ ප්‍රචාරයක් දෙන්න ඕන.
අනෙක් අතට ගීතය කියන්නේ මුදලට පවා දෙන්න පුළුවන් දෙයක් නොවේ. අලුත් සින්දුවක් සිය වතාවක් ඇහුවත් ඒක මතකයෙන් ගිලිහෙනවා. ඒත් 70 - 80 දශකයේ ගීත එක පාරක් ඇහුවත් හොයාගෙන නැවත අහන තරමට ඒවා තවමත් ජනප්‍රියයි. මේ ලෝකේ හැමදාමත් උසස් රසවින්දනයක් තියෙන මිනිසුන් බිහි වෙනවා. ඒ තාක් ශිෂ්ටසම්පන්න සුභාවිත සංගීතය රදාපවතිනවා.
- හංසී ආටිගල-