Pages

බෝගසක එල්ලා මීහරක්‌ දෙදෙනකු මස්‌ කරලා

ගම්පොළ ප්‍රධාන මස්‌ වෙළෙඳසලක හිමිකරුවන් ඇතුළු පස්‌ දෙනකු එක්‌වී බෝ ගසක එල්ලා මරා මස්‌ කරන ලද මී හරක්‌ දෙදෙනකුගේ මස්‌ සමඟ එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්‌ දෙනාගෙන් දෙදෙනකු රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හැරීමට ද අනෙකුත් තිදෙනා ලබන 17 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමටද ගම්පොළ මහෙස්‌ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

මෙසේ ඇප නියම වූයේ මොහොමඩ් නෂීර්, දිලුම් තුෂාර යන අයටය. මොහොමඩ් ෂාරුක්‌, දෙනියේ ගෙදර ප්‍රේමතිලක, මුරුන්දන් ශෂිකුමාර් යන අය රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

ගම්පොළ මිල්ලගහමුල දෙනියගම ප්‍රදේශයේ සිටි මීහරක්‌ දෙදෙනකු එම ගමේ කැලෑ ප්‍රදේශයට වන්නට තිබූ බෝගසේ එල්ලා රාත්‍රි කාලයේදී මරා මස්‌ කරද්දී ඒ බව ගම්වාසීන්ට දැන ගන්නට ලැබී එම ස්‌ථානය වටලා සැකකරුවන්ට පැන යාමට නොදී අල්ලාගෙන තිබුණි.මේ ප්‍රදේශයේ පදිංචි උඩ පළාත ප්‍රාදේශීය සභා සභාපති ඩී. ජී. ගුණසේන මහතා ඇතුළු ගම්වාසීන් මේ බව ගම්පොල පොලිසියට දැන්වීමෙන් පසු පොලිස්‌ නිලධාරීන් එම සැකකරුවන් හා මස්‌ තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.


මෙහි ප්‍රධාන සැකකරුවන ස්‌ටැන්ලි විඡේසිංහ හෙවත් ප්‍රනාන්දු යන අය ගමෙන් පැන ගොස්‌ ඇති බවද පරීක්‍ෂණ කණ්‌ඩායම උසාවිය වෙත කරුණු වාර්තාකොට තිබුණි.

ගම්පොළ කොට්‌ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණි පෙරේරා, ස.පො.අ. චුලනී වීරරත්න, ගම්පොළ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති චන්ද්‍රd ජයවීර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත උ.පො.ප. ආලෝක බණ්‌ඩාර, පො. සැරයන් 4215 ජයන්ත නවරත්න, පො. කො. 60311 නුවන්, පො. කො. 33128 දිසානායක, පො. කො. 85059 අබේසිංහ යන නිලධාරීහු පරීක්‍ෂණ සිදුකළහ.