තරුණියක් කෙලෙසා-ඇගේ නිවෙසේ බඩුත් විකුණා-නිවෙසත් කුලියට දී පැන ගිහින් !

කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා ධාවනය වන දුම්රියේ පැමිණි තරුණියක් සමඟ පෙම් සබඳතාවක් ඇතිකරගෙන ඇය රවටා ඇගේ නිවෙසේ තිබූ දේපළ සියල්ල විකුණා, ඇය පදිංචිව සිටි නිවෙස වෙනත් පුද්ගලයකුට කුලියට දී ඇති යුද හමුදාවෙන් නෙරපූ සෙබළකු අනුරාධපුර කොට්ඨාස පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය ඇතිව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (20දා) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරු විසින් අනුරාධපුර දෙවැනි පියවරේ පිහිටි තරුණියගේ නිවෙසින් සොරකම් කර, අනුරාධපුර නගරයේ ව්‍යාපාරික ස්ථානයකට විකුණු­ වටිනා සෝපාවක්, ඇඳන් තුනක්, ප්ලාස්ටික් පුටු 6ක්, එල්.සී.ඩී. රූපවාහිනියක්, රයිස් කුකර් එකක්, විදුලි පංකා 4ක්, කණ්ණාඩි මේසයක් සහ ඊට අමතරව සැකකරු වෙනත් පුද්ගලයන්ගෙන් සොරකම් කළ වටිනා ජංගම දුරකතන 6ක් සහ රන් මාලයක්ද පොලිසිය සොයාගෙන ඇත.

සැකකරු මීට මාස 4කට පමණ ඉහතදී තරුණිය සමඟ දුම්රියෙන් අනුරාධපුරයට පැමිණ ඇති අතර පැමිණෙන අතරතුරදී පෙම්වතුන් වී ඇති බව පොලිසිය සඳහන් කරයි. ඉන් අනතුරුව දෙදෙනා හොඳින් දැන හඳුනාගෙන නිවෙස්වලට ගොස් ඇති බව පොලිසිය පවසයි. මීට දින කිහිපයකට ඉහතදී සැකකරු තරුණියගේ මවුපියනුත් සමඟ පොළොන්නරුවේ පිහිටි ඥාති නිවෙසකට ගොස් ඇති අතර නිවෙසේ යතුර සැකකරු ළඟ තබාගෙන ඇති බවද පොලිසිය පවසයි.


සැකකරු හදිසියේ රාජකාරි කටයුත්තක් සඳහා අම්පාර නගරයට යෑමට අවශ්‍ය යැයි පවසා ඔවුන් මඟහැර අනුරාධපුරයට පැමිණ රාත්‍රි කාලයේදී නිවෙසේ තිබූ සියලු බඩුමුට්ටු ලොරියකින් රැගෙන ගොස් ජපානයේ සිටින සහෝදරයා එවූ භාණ්ඩ බව කියා රුපියල් 75,000කට අලෙවි කර ඇත. එම මුදලින් රුපියල් 11,000ක මුදලක් සැකකරු ලබාගෙන ඇති අතර තරුණියගේ නිවෙස වෙනත් පුද්ගලයකුට කුලියට ලබාදී රුපියල් 25,000ක අත්තිකාරම් මුදලක් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුව ඔහු නැවතත් පොළොන්නරුවට ගොස් තරුණියවද රැගෙන කොළඹට ගොස් ඇයව කෙලෙසා අතරමං කර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. ඉන් අනතුරුව තරුණියගේ මවුපියන් මෙම පුද්ගලයා පිළිබඳ සැක සිතී භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට කළ පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විකුණු­ භාණ්ඩවල මුදල් ලබාගැනීමට පෙරේදා (20දා) අනුරාධපුරයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට පත් වූ බව පොලිසිය පවසයි. අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු අයහපත් කල්ක්‍රියාව හේතුවෙන් යුද හමුදාවෙන්ද නෙරපා ඇති බවත් මූල්‍ය ආයතනයක නිලධාරියකු වශයෙන් පෙනී සිට ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරු පෙර විවාහයෙන් දික්කසාද වූ බවට පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර ඔහු තවත් පුද්ගලයන් කිහිප දෙනකු සමඟ එක්වී දුම්රියේ ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කොල්ලකෑමේ නිරතව ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න, සහකාර පොලිස් අධිකාරි එච්. සමුද්‍රජීව යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රභාත් ගාල්ලගේ, උප පොලිස් පරීක්‍ෂක අමරසිංහ, කොස්තාපල්වරුන් වන චන්දන (16446), සමන් (48350), කුමාරසිංහ (47852), රත්නායක (36578) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Gossip Lanka Hot News Previous News Archive