කටුපොතින් හමුවූ ටයර්සෑයෙන් අවසන් ගමන් ගිය පුද්ගලයාගේ තොරතුරු එළියට එයි


කටුපොත පාලමයට ටයර් සෑයක් මත දැවෙමින් තිබූ මළ සිරුර පිළිබඳ තොරතුරු එකින් එක මේ වනවිට අනාවරණය වෙමින් තිබෙන බව කටුපොත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පද්මකුමාර මහතා පවසයි. කුලියාපිටිය කොට්ඨාශයේ අපරාධ පරික්ෂණාගාර නිලධාරින් මෙම අභිරහස් ඝාතනයේ සුලමුල සොයා ගන්නට කටුපොත පොලිසියට සහය වෙමින් සිටී.

කොටාවිලකන්ද, වඳුරැස්සේගම හරහා කටුපොත මාර්ගයේ නෙලුවේගෙදර ආලෝක රජමහා විහාරස්ථානය අසල ඇල හරහා බැඳ තිබෙන පාලම යට ටයර් සෑයක් මත දැවෙමින් තිබූ මෙම මළ සිරුර කටුපොත පොලිසිය විසින් සෙයා ගන්නා ලද්දේ අඟහරුවාදා (25) පාන්දර 6.00 ට පමණය. ඒ ආලෝක රජමහා විහාරාධිපති කඹුරුදෙනියේ ඤානිස්සර හිමියන් දුරකථනයෙන් කළ දැනුම් දීමක් අනුවයි.

ටයර් සහ කුඹුක් ‍දැව මත දැවී තිබූ මළ සිරුර අසල තිබී මියගිය පුද්ගලයාගේ යැයි සැක කරන ජාතික හැඳුනුම්පතක කොටසක් හමු වී තිබේ. එහි ඡායාරූපය සහ අංකය තරමක් පැහැදිලිය. සෙසු කොටස් පිළිස්සී ගොසින් ය. එහි අංකය ජාතික හැඳුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර එමගින් ඝාතනයට ලක් වී සිටින පුද්ගලයාගේ අනන්‍යතාව අනාවරණය කර ගන්නට පියවරගත් බව කටුපොත පොලිස් ස්ථානාධිපති එස්.පද්මකුමාර මහතා පවසයි.


මියගිය පුද්ගලයාට අයත් යැයි විශ්වාස කරන පිළිස්සී ගිය ජංගම දුරකතනයක්, සරමක කොටස් ද අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් විසින් සොයා ගෙන ඇත. මළ සිරුරට නුදුරින් භූමිතෙල් සුවඳ වහනය වන ප්ලාස්ටික් බඳුනක් ද සොයා ගෙන ඇත. අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා පිළිබඳ තොරතුරු බදාදා (26) දවස ඇතුලත අනාවරණය කර ගැනීම පොලිසියේ අරමුණ වී තිබේ. කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි ගාමිණී මීගහකුඹුර මහතාගේ උපදෙස් මත කටුපොත පොලිසිය පරික්ෂණ සිදු කරයි.

කේ.ඒ.ජයසූරිය - පඬුවස්නුවර

Gossip Lanka Hot News Previous News Archive